Monday, May 13, 2024

General line - 0115112241

අජිත් රෝහණගේ ස්ථාන මාරුව වෙනස් වෙයි




දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නැගෙනහිර පළාතට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා. ඒ වෙනුවට ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් මූලස්ථානය වෙතයි.

ජාතික පොලිස් කොමිසම අද රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන තිබෙනවා. තමන්ව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඊයේ සිදුකළ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම අද රැස්වූ අවස්ථාවේදී සාකච්ඡා කළ බවයි එම  කොමිසමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් එවූ එම ලිපිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කිරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා. 

මේ අතර මධ්‍යම පළාතේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කළ ප්‍රියන්ත වීරසූරිය ද ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කර තිබුණා.

එහෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් පැමිණිල්ලක් ඉදිරිපත්වී නොමැති බවයි ජාතික පොලිස් කොමිසමේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.