Friday, May 17, 2024

General line - 0115112241

නිර්වින්දන විශේෂඥයින් 30ක් වසරකදී රට හැර යයි




විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් හිඟකම හේතුවෙන් ඉදිරියේදි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක් වීමේ අවදානමක් මතුව තිබෙනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදි හෙළි වුණේ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් 30 දෙනෙකු පමණ විදේශගතව ඇති බවයි.

2019 වසරේ සිට මේ දක්වා විදෙස් පුහුණුව සඳහා යොමු කරන ලද නිර්වින්දන වෛද්‍යවරුන්ගෙන් යළි මෙරටට පැමිණ ඇත්තේ සියයට 10කටත් අඩු ප්‍රතිශතයක් බවයි වාර්තා වන්නේ.

තවත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් 17 දෙනෙකු පමණ ලබන වසරේ දෙසැම්බර් 31වනදා වන විට විශ්‍රාම යාමට නියමිතව තිබීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පෙන්වා දෙන්නේ.

මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් මේවනවිටත් පවතිනවා.

ඇඹිලිපිටිය සහ ත්‍රිකුණාමලය රෝහල්වල දැනටමත් නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැනට සේවය කරන්නේ එක් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු පමණයි.

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාද ඉවත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකු සිටිය යුතු වන අතර දැනට සිටින්නේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් 06 දෙනෙකු පමණක් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු බිහි විම සඳහා වසර ගණනාවක් ගත වන බැවින් රට තුළ ඉතිරි වි සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට විධිමත් වැඩ පිළිවෙළක් අවශ්‍ය බවයි සෞඛ්‍ය වෘත්තිකයින් පෙන්වා දෙන්නේ.

එසේ නොවුනහොත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දිගු කාලීනව විසඳා ගත නොහැකි අර්බුදයකට මුහුණ පා හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර සෙසු ක්ෂේත්‍රවල වෛද්‍යවරුන්ද විශාල පිරිසක් පසුගිය කාල සිමාව තුළ විදේශගතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වමිල් විජේසිංහ.


වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් පර්යන්ත රෝහල් බිඳ වැටීමේ අවදානමක් දැනටමත් මතුව ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.