Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ බෑගයකින් හමුවූ දේ

ටී.කේ.ජී.කපිල




ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක් තුළ රිවෝල්වරයක් සහ පිස්තෝලයක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි මෙම 65 හැවිරිදි ද්‍රවිඩ ජාතික ගුවන් මගියා ඊයේ දින රාත්‍රී 06.30ට ප්‍රංශයේ පැරිස් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ අංක WY- 373 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් වැරදීමකින් වෙනත් ගුවන් මගියෙකු රැගෙන ගොස් තිබූ අතර පසුව එම මගියා ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමෙන්සොයා ගෙන අවශ්‍ය නිවැරැදි කිරීම සිදු කර තිබේ.

පසුව එම ගමන් මල්ල ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍රයක් (Scan Test) මගින් නිරීක්ෂණය කිරීමේදී එය තුළ පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබෙන බව හදුනා ගෙන ඇත.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ මෙම ගුවන් මගියා සහ මෙම අවි සහිත ගමන් මල්ල අත් අඩංගුවට ගෙන ඇත.

පොලීසිය වෙත රැගෙන ගිය මෙම අවි වැඩිදුර නිරීක්ෂණය කිරීමේදී මේවා ප්ලාස්ටික් වලින් නිෂ්පාදන කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව මෙම ගුවන් මගියා ඇප මත නිදහස් කර යවා තිබේ.

මෙම අවි දෙක දුඹුරු සහ නිකල් පැහැයෙන් යුතු අතර ඒවා ස්පාඤ්ඤයේ නිෂ්පාදනය කර තිබෙන අතර ඒවා මත (Idial Dum) ලෙස සදහන් කර තිබේ .

මෙම අවි දෙක පිළිබඳව වැඩිදුර විමර්ශනය කර වාර්තාවක් ලබා ගැනීම සදහා කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර ඇත.

මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.