Friday, May 17, 2024

General line - 0115112241

රට පුරා විශේෂ ආරක්ෂාවක්




ඉදිරි දින කිහිපයේ දිවයින පුරා විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසනවා.

වෙසක් සතියට සමගාමීව එලෙස දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.  


බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ද රාජකාරී සඳහා අනියුක්ත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 


මේ අතර බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ශැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ ලබන 6වනදා දක්වා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තොරණ, පහන් කූඩු , බක්ති ගීත , දන්සැල් , සීල භාවනා ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්.

ජනාධිපති කාර්යාලයේ පියගැටපෙළ ඉස්මත්තේදී රාත්‍රී 7ට අද භක්තිගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. 

සාමණේර භික්ෂූන් වහන්සේ 40නමක් සහ පාසල් දරුවන් 1,200ක් වෙනුවෙන් පාසැල් උපකරණ බෙදා දීම හෙට සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද වෙසක් පොහොය නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව, රැඳවියන් වෙසක් පොහෝ දින සිල් සමාදන් වීම, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, ධර්ම දේශනා , බෝධි පූජා හා බැති ගී ඒ අතරට අයත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ. 

වෙසක් පොහෝ දින පස්වරු 7 සිට බන්ධනාගාර මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන වෙසක් කලාපයේදී බත් දන්සලක් පවත්වනු ලබන්නේ බන්ධනාගාර බුද්ධි අංශයේ මූලිකත්වයෙන්.

එම වෙසක් කලාපයේදී රැඳවියන් සහ නිලධාරීන් විසින් පහන් කූඩු හා වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කරන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

බන්ධනාගාර මූලස්ථානයේ ඉදිරිපිට ක්‍රියාත්මක වෙසක් කලාපය ලබන 7වනදා දක්වා පැවැත්වෙනවා.