Friday, May 17, 2024

General line - 0115112241

සීනි මිල සීඝ්‍රයෙන් ඉහළට




ආනයනික සීිනි මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊට එක් හේතුවක් වී ඇත්තේ ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් කෝටාව අවසන් වීමයි.

ඒ අනුව, මේවනවිට සීනි ආනයනය කරනු ලබන්නේ බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකින්. 

ඉකුත් දින කිහිපයේ සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 230ක් ලෙසයි.

එහෙත් ඊයේ දිනයේ සීනි කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 250ක් ලෙසයි. අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ කෙසේ වෙතත් ඉන්දියාවෙන් ආනයනය නොකළද මේවනවිට මාස 2කට පමණ සරිලන සීනි තොගයක් රටතුළ පවතින බවයි. සෙසු රටවලින් ද අඛණ්ඩව සිනි ආනයනය කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ආනයනික තිරිඟු පිටි සඳහා අය කෙරෙන තීරුබද්ද ඉහළ දැමුනද මෙම අවස්ථාවේ මිල ඉහළ දැමීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවා.

ඒ, ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ගණන් අඩු වීම හේතුවෙන්. 

කෙසේ වෙතත් තිරිඟු පිටි කිලෝවක් සඳහා ගෙවූ රුපියල් 25ක් වූ තීරුබද්ද මේවනවිට රුපියල් 45කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ගණන් ඉහළ ගියහොත් අනිවාර්යෙන්ම මෙරට තිරිඟු පිටි මිල ද ඉහළ දැමීමට සිදුවන බව ඔහු කියා සිටියා. මේවනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 200ත් 205ත් අතරයි. 

මේ අතර තිරිඟු පිටි සඳහා පනවා තිබූ තීරුබදු මුදල ඉහළ දැමුනද පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන් ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේ එහි සභාපති එම් කේ ජයවර්ධන.


ගෑස් මිල අඩු කළද බේකරි නිශ්පාදන මිල ගණන් පහළ දැමීමට එය ප්‍රමාණවත් නොවන බවයි ඔහු පැවසුවේ.


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහත පහත දැමුවා. ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් වන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40 කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 1,462 ක් වනවා. කිලෝග්‍රෑම් 2 යි දශම 3 ක ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 19 කින්. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 681 ක් බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ.

කෙසේවෙතත් ලාෆ් ගෑස් සමාගම මිල ගණන් අඩුකර නැහැ.