Tuesday, April 16, 2024

General line - 0115112241

විරෝධතා හමුවේ පාකිස්තානයේ සමාජ මාධ්‍යවලටත් සීමා




පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් සිදුකරන විරෝධතා උත්සන්නවී තිබෙනවා.

නගර කිහිපයකදී පැවති විරෝධතා විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාවලට එක්වූ පංජාබ් ප්‍රාන්තයේ පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විරෝධතා අතරතුර පුද්ගලයින් 130 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර එක් මරණයක් ද වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර රට තුළ වර්ධන වන විරෝධතා සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ෆේස්බුක් ට්විටර් ඇතලු අනෙකුත් සමාජ මාධ්‍ය ජාල වෙත ප්‍රවේශ වීම සීමා කිරීමට පාකිස්තාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.

අද දිනයේ විනිසුරුවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් දින 8 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර පාකිස්තානයේ රැදී සිටින සිය වැසියන්ට වහාම ඉවත්වන ලෙස අමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව ඇතුලු රටවල් ගණනාවක් අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම පාකිස්තානය වෙත යාමෙන් වළකින ලෙසයි එම රටවල්වල වැසියන්ට බලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ.