Wednesday, April 24, 2024

General line - 0115112241

යුක්රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියාවට නතු වෙයි




යුක්රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියානු පාලනයට නතුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්රේනයේ බක්මුට් නගරය එලෙස රුසියාවේ පාලනයට නතුව ඇති බවයි.

යුක්රේන රුසියානු ගැටුම් වලදී බක්මුට් නගරය තීරණාත්මක නගරයක් ලෙස පැවතුනා. කෙසේවෙතත් දින 224 ක් පුරා පැවැති දරුණු ගැටුම්වලින් අනතුරුව බක්මුට් නගරය රුසියාව විසින් අත්පත් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාවේ කුලී හමුදා භට පිරිස වන වැග්නර් හමුදා කණ්ඩායම විසින් එහි බලය අල්ලා ගෙන ඇති බවයි. ගැටුම් හමුවේ විනාශ වී ගිය ගොඩනැගිලි අතර වැග්නර් හමුදාවේ ධජය ඔසවා ඇති ආකාරය දැක්වෙන් වීඩියෝ ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

කෙසේවෙතත් යුක්රේනයට ප්‍රධාන බල කඳවුරක් වන බක්මුට් නගරය අහිමි වුණේ ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ජපානයේ හිරෝෂිමා නගරයේ පැවැත්වෙන ජී 7 සමුළුව සඳහා සහභාගී වී සිටින පසුබිමක් තුළයි.