Friday, April 19, 2024

General line - 0115112241

ගුවනින් ආ කෝටි තුනක් වටිනා “කුෂ්” රේගු දැළේ

ටී කේ ජී කපිල




අමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් තැපෑල හරහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ ”කුෂ්” නැමැති ගංජා තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ එම ගංජා තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වන බවයි.

බොරැලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල පිහිටි නිවාස වෙත පාර්සල් 10 ක් ලෙස අදාළ කුෂ් නමැති ගංජා තොගය එවා තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එම පාර්සල් භාර ගැනීමට කිසිදු පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත නොපැමිණීම හේතුවෙන් අදාළ පාර්සල් එහි සේවය කරන රේගු නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිටදී පරීක්ෂා කර තිබෙනවා.

එහිදී එම පාර්සල් තුළ තිබී “කුෂ් ” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03 යි, ග්‍රෑම් 475 ක් සොයාගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පැවසුවේ. එම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබෙනවා.