Friday, May 17, 2024

General line - 0115112241

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගත් හේතුව හෙළි වෙයි

ටී කේ ජී කපිල




කොළඹ පැවැති වැඩසටහනක් අතරතුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කතාබහට ලක්ව සිටින නතාෂා එදිරිසූරිය නමැත්තිය අත්අඩංගුවට ගැනුණේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට අනුව බව පොලීසිය පවසනවා.

එම පනතේ 03 වන වගන්තිය වන ජාතීන් අතර හෝ ආගමික නොසන්සුන්තාවයක් ඇති වන ප්‍රකාශ සිදුකිරීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාව බව ද පොලීසිය සඳහන් කළා. 

කොළඹ පැවැති වැඩසටහනකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අද අළුයම අත්අඩංගුවට ගැනුණේ සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදීයි.

ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැණුනු ඇයව පසුව පොලිස් සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට කටයුතු කර තිබුණා.

නතාෂා එදිරිසූරිය නමැත්තිය විදේශගත වීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණි විට අත්අඩංගුවට ගන්නා ලෙස සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ජයනි නටාෂා එදිරිසූරිය ඊයේ රාත්‍රී 11 යි 30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ. 

31 හැවිරිදි නතාෂා එදිරිසූරිය ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.  

හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් පුද්ගලයෙකු ද ඇය සමග දිවයිනෙන් පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

කෙසේවෙතත්  නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහු ද සිය ගුවන් ගමන අතහැර කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් ඇති බව ද නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් දෙදෙනා මැලේසියානු ගුවන් යානයකින් ක්වාලාලම්පූර් වෙත ගොස් , එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැළසුම් කර තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.