Friday, May 17, 2024

General line - 0115112241

විභාග කාලසටහන  ගැන විශේෂ අවධානයක් යොමුකරන ලෙස ඉල්ලීමක්




2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ආරම්භ වනවා.

අද සිට ජූනි මස 08 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 94,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සඳහා ක්‍රියාත්මක විභාග මධ්‍යස්ථාන ගණන 3,568ක්. ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් 35,000කට අධික සංඛ්‍යාවක් මෙවර විභාග රාජකාරී සදහා යොදවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

විභාග මධ්‍යස්ථානයට යන විට අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා සුදුසු අනන්‍යතා පත්‍රයක් රැගෙන යන ලෙසයි කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ.  


විභාගයේ කාලසටහන සම්බන්ධයෙන් සිසුන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා.

විභාග ප්‍රවේශපත්‍රයත් සමග ඇති කාලසටහන හැර වෙනත් කිසිඳු කාලසටහනක් සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ලෙස ද මෙහිදී සිසුන්ගෙන් ඉල්ලීමක් කෙරුණා. 


එමෙන්ම කිසිඳු වංචනික ක්‍රියාවක් සිදුනොකර විභාගයට පෙනී සිටීම සියලු සිසුන්ගේ වගකීමක් බවයි විභාග විභාග කොමසාරිස් ජනරාල්වරයා  වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර රැඳවියන් 10 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු එම බන්ධනාගාරයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථනයේ දී විභාගයට පෙනී සිටින බවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනෙකු නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නියමිතයි.

ඒ අතර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබු රැදවියෙකු ද සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.