Friday, May 17, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්




අදින් ඇරඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ පොලිස් නිලධාරීන් සම්බන්ධීකරණය කරමින් එම ආරක්ෂක කටයුතු මෙහෙයවන බවයි.  


විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා දෛනික පොලිස් මුර සංචාරද ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


මේ අතර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ හිඟයකින් තොරව බස්රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඒ සඳහා අවශ්‍ය උපදෙස් සියලු ඩිපෝවල අධිකාරිවරුන් වෙත ලබාදී ඇති බවයි.  


එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ හිඟයකින් තොරව බස්රථ ධාවනයට එක් කරන බව පෞද්ගලික බස් සංගම්ද ප්‍රකාශ කළා. නියමිත කාලසටහනට අනුව සියලුම දුම්රිය ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.