Friday, May 17, 2024

General line - 0115112241

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ භාණ්ඩ මිල ගැන රජයේ අවධානය

තිසර සමල් සෝමරත්න-නිහාල්සිරි ගම්ලත්




ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව ආනයනික භාණ්ඩ මිල ගණන් සංශෝධනය වන්නේද යන්න පිලිබඳව රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඩොලර් ගැටළුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී භාණ්ඩ රැසකට ආනයන සීමා පැන වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ. 

කෘෂි කාර්මික ධීවර හා කාර්මික ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියැලෙන්නන්ගේ ඉල්ලීම් සලකා බලා එම භාණ්ඩ වලින් අඩක පමණ ආනයන සීමා විටින් විට ඉවත් කිරීමට කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

එමෙන්ම මේ වන විට ආර්ථිකය යම් ධනාත්මක දිශාවකට ගමන් කරමින් තිබෙන බැවින් විදේශ සංචිතවලට බලපෑමක් නොවන ආකාරයට , මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකය හා සම්බන්ධ වී බහුලව ඉල්ලීම් ඇති ක්ෂේත්‍රයන් වලට අදාල ආනයන සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සදහන් කළේ.

දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

ආනයනික භාණ්ඩ වල සහ විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ආනයනික භාණ්ඩ හා උපකරණවල මිල ගණන්,  ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව පහළ ගොස් ඇත්ද යන්න පිලිබඳව සොයා බැලීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල භාණ්ඩ මිල ගණන් ඉහල යාම විශාල පිරිසක්ගේ ජීවනෝපායටද බලපා ඇති බවත් එය ආර්ථික වර්ධනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී වැඩිදුරටත් සදහන් කළා.