Friday, May 17, 2024

General line - 0115112241

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර අගෝස්තු සිට ඍජු ගුවන් සේවා




මෙම වසරේ අගෝස්තු මාසයේ සිට තුර්කියේ ස්ථාන්බූල් නගරයේ සිට කටුනායක දක්වා ඍජු ගුවන් සේවා ආරම්භ වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනිය සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

තුර්කි ගුවන් සේවා සමාගමේ දකුණු ආසියානු කාර්යාලයේ ප්‍රධානියා ද එම සාකච්ඡාවට එක්ව තිබෙනවා. 

දැනට තුර්කි ගුවන් සේවාවන් මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඒ හේතුවෙන් පැය එකහමාරක පමණ අමතර කාලයක් වැය කිරීමට සිදුවනවා.

එම ප්‍රමාදය පිළිබඳ සංචාරකයින් අකමැත්තක් දක්වන බවයි තුර්කි තානාපතිවරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

තුර්කි සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් ස්ථාන්බූල් සහ කටුනායක අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට අවශ්‍ය කාලය සහ ඉඩකඩ ලබාදෙන ලෙස තුර්කි ගුවන් සමාගමේ නිලධාරියා එහිදී ඉල්ලා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ එම ඉල්ලීම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ ගුවන් සේවා සමාගමට යොමු කර මෙම වසරේ අගෝස්තු මස සිට ස්ථාන්බූල් සහ කටුනායක අතරඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන බවයි. 

ගුවන් යානා 100 කට වැඩි සංචිතයක් ඇති තුර්කි ගුවන් සේවා සමාගම යුරෝපයේ වැන්කුවර් සහ නිව්යෝර්ක් යන නගර අතර  ද ගුවන් සේවා පවත්වන බැවින් යුරෝපීය සංචාරකයින් ද එම ගුවන් සේවය හරහා මෙරටට රැගෙන ආ හැකි බව තුර්කි ගුවන් සේවා සමාගමේ නිලධාරියා එහිදී පෙන්වා දුන් බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ.