Friday, May 17, 2024

General line - 0115112241

ආගමික සහජීවනයට බාධා වන සූක්ෂම වැඩසටහනක් ගැන බුද්ධි අංශ අනාවරණයක්




ආගමික සහජීවනයට බාධා වන සූක්ෂම වැඩපිළිවෙළක් විවිධ කණ්ඩායම් විසින් ක්‍රියාත්මක කරන බවට බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලයට වාර්තා කර ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ පිළිබඳ පූර්ණ අවධානයෙන් සිටින ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අංශ සහ අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ. 

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමේ මාවතට පිවිසෙන තීරණාත්මක අවස්ථාවක රට තුළ විවිධ කණ්ඩායම් විසින් තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවයි.

යම් පුද්ගලයෙක් හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහ කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

අධිකරණ අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

බුදු දහමට අපහාස වන අයුරින් පසුගිය කාලසීමාවේදී සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ද අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.