Friday, March 29, 2024

General line - 0115112241

යුක්රේනය යළිත් රුසියාවේ අගනුවරට පහර දෙයි




රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මොස්කව් හා ඒ අවට ප්‍රදේශවල පිහිටි ගොඩනැගිලි ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එලෙස එල්ල වී ඇති බවයි.

ප්‍රහාර සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා එල්ල කෙරුණු නමුත් යුක්රේනය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. කෙසේවෙතත් රුසියානු බලධාරීන් පවසන්නේ ප්‍රහාර හමුවේ ගොඩනැගිලිවලට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි සිදුව නොමැති බවයි.

ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බැවින් කලබල නොවන ලෙසයි මොස්කව් හි ආණ්ඩුකාරවරයා අගනුවර වැසියන්ට දැනුම් දී ඇත්තේ. ප්‍රහාර සඳහා පැමිණි ඩ්‍රෝන යානා රැසක් බිම හෙලූ බව ද  රුසියානු ආරක්ෂක අංශ පවසා තිබෙනවා. 

රුසියාව මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ යුක්රේනයේ කිව් අගනුවර ඉලක්ක කර අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක් තුළයි. ගතවූ පැය 24 තුලදී රුසියාව යුක්රේනයේ කිව් අගනුවර ඉලක්ක වෙත අවස්ථා 03 කදී දරුණු ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.