Friday, May 17, 2024

General line - 0115112241

ලාබ ලබන ආයතන විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 02 ක්




පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය දේපල විකිණීමට රජය විසින් ගෙන ඇති තීරණ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

එම එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇත්තේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර සහ එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින්. දේශහිතෛශී ජාතික පෙරමුණේ ලේකම් නුවන් බැල්ලන්තුඩාව සහ එහි විධායක කමිටු සාමාජිකයෙකු වන ජේ ඒ ඩී එම් ජයතිලක විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 23 දෙනෙක්.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් වසරේ අගෝස්තු මස 31 දා අමාත්‍ය මණ්ඩල යෝජනාවක් මගින් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණයක් ගෙන තිබූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්,  ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්‍රෝ ගෑස් සමාගම, ලංකා හොස්පිට්ල්ස් සමාගම, වෝටර්ස් ඒජ් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක් ගෙන තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

එසේ තිබියදී ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් විකිණීමට රජය විසින් මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්  එම පෙත්සම්වල සඳහන් වනවා.

පසුගිය අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා තුළින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් රාජ්‍ය ආයතන විකිණීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී නොමැති බවත් සිය පෙත්සම්වල දක්වා තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ඒවා නීතියට පරිබාහිරව විකිණීම තුළින් මහජන පරමාධිපත්‍යය මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් එම පෙත්සම්වල සඳහන්.

ඒ අනුව නීතියට පරිබාහිර ලෙස රාජ්‍ය ආයතන විකිණීමට වග උත්තරකරුවන් විසින් ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම දේපළ විකිණීම සඳහා ගෙන තිබෙන අමාත්‍ය මණ්ඩල තීරණ බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමගි සේවක සංගමයේ සභාපති ඉන්දික ප්‍රියදර්ශන ඇතුළු පිරිසක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.