Friday, May 17, 2024

General line - 0115112241

ඖෂධ මිල අවම වශයෙන් සියයට 15 කින් අඩුකරන ලෙස සෞඛ්‍ය ඇමතිගෙන් උපදෙස්




අමෙරිකානු ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අමාත්‍යංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ඖෂධ මිල අවම වශයෙන් සියයට 15 ක පමණ ප්‍රමාණයකින් අඩුවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

ඩොලරයේ අගය රුපියල් 190 සිට රුපියල් 370 දක්වා විචල්‍ය වූ පරාසය තුළ ඖෂධ මිල එයට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහළ ගිය ද මේවනවිට ඩොලරයේ අගය අඩුවෙමින් පවතින තත්ත්වයක් තුළ ඊට සාපේක්ෂව ඖෂධ මිල ද අඩුවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය යන ආයතනවල ඉහළ නිලධාරීන් එම සාකච්ඡාවට එක්ව සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.