Friday, March 29, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළිකල පිරමීඩාකාර ආයතන ගැන මහ බැංකුවෙන් දැඩි තීරණ




තහනම් යෝජනා ක්‍රම ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ කළ, නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා ගණනාවකදී හෙළි කළ, පිරමීඩාකාර ව්‍යාපාර පවත්වාගෙන ගිය ආයතන 06 ක් ඇතුලු ආයතන 08ට එරෙහිව අදාළ අංශ විසින් ඉදිරියේදී නීතීමය පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව හා පොලිසිය විසින් එම කටයුතු සිදුකරන බවයි මහබැංකු අධිපතිවරයා පැවසුවේ.


නෙත් එෆ් එම් බැලුම්ගල හෙළි කළ ටියෙන්ස් ලංකා හෙල්ත් කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ්, බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ෆාස්ට් ත්‍රී සියකල් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, ස්පෝර්ට් චේන්ජ් ඇප් - ස්පොර්ට්ස් චේන් ZS සොසයිටි ශ්‍රී ලංකා සහ ඔන්මැක්ස් DT යන ආයතන ඒ අතර වනවා.

එමෙන්ම මාර්ක් වෝ ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්, VML ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන දෙකද තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කළා.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ. 

නෙත් එෆ් එම් බැලුම්ගල ඉකුත්දා අනාවරණ කළේ විවිධ උපක්‍රම යොදා ගනිමින් තවදුරටත් මෙම ආයතන ජනතාව රැවටීමට කටයුතු කරමින් සිටින බවයි.

එක් උදාහරණයක් වන්නේ විවිධ උත්සව සඳහා අනුග්‍රහය ලබාදෙමින් ඊට සහභාගි වන ප්‍රභූ පිරිස මුණගැසී ඒ හරහා ජනතාව තුළ විශ්වාසය ගොඩනගා ගැනීමට ඔවුන් දරණ උත්සාහයයි.

මහියංගනයේදී ජනාධිපතිවරයා ඉකුත්දා සහභාගී වූ උත්සවයට මූල්‍ය අනුග්‍රහය ලබාදී ඇති ඔන්මැක්ස් DT ආයතනය ඒ හරහා ජනාධිපතිවරයා ඇතුලු ප්‍රභූන් මුණගැසීමටයි උත්සාහ දරා තිබුණේ.

එහෙත් නෙත් එෆ් එම් බැලුම්ගල සහ පිරමීඩ විරෝධී බලකාය එක්ව ඒ පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමත් සමඟ එම ආයතනයේ ටී ෂර්ට් පැළඳ අදාළ පරිශ්‍රයේ සිටි සියලුදෙනා ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

එමෙන්ම නව සාමාජිකයින් බඳවා ගැනීම සඳහා කිතුල්ගල පැවති මෙම ආයතනයේ වැඩමුලුවක් සම්බන්ධයෙන් ද නෙත් එෆ් එම් බැලුම්ගල හා පිරමීඩ විරෝධී බලකාය නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කළා.

පසුව නීති උපදෙස් ලබාදී පොලීසිය විසින් අදාළ වැඩමුලුව නතර කිරීමටයි කටයුතු කර තිබුණේ.

එය මෙහෙයවූ පුද්ගලයින්ගෙන් පොලීසිය එහිදී ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඒ පිළිබඳවද ඉදිරි විමර්ශණ ක්‍රියාත්මකයි.