Friday, April 19, 2024

General line - 0115112241

සියලු බෞද්ධ ජනතාවගෙන් ජනපති කල ඉල්ලීම




මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින් සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිතයි.

එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.  

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මග ඔස්සේයි.

විශේෂයෙන්ම වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟයි.

එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කර ගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ පොසොන් පොහෝ දින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

චුල්ලහත්ථි පදෝපම සූත්‍ර දේශනාවෙන් මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළාක් මෙන් මනා සංයමයෙන් කටයුතු කිරීම සියළු දෙනාගේ යුතුකමක් බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

අනර්ථ සිදුවීම් උපේක්ෂාවෙන් බැහැර කොට සැබෑ බුද්ධ දර්ශනයේ හරයෙන් අප ජීවිත ආලෝකමත් කර ගත යුතුයි.

දුරදිග සිතා කටයුතු කළ යුතුව ඇති මෙවන් වකවානුවක උතුම් ගුණ ධර්ම පෙරදැරි කොටගත් සමාජයක් උදෙසා පිංබර පොසොන් පොහෝ දින පෙළ ගැසෙමුයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කල පොසොන් පොහෝදින පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

අභිමානවත් රටක්, ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ වන බවත් එය පෞඪ ඉතිහාසයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් උදෙසා ද අඩිතාලම දමනු ලැබූ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

බුදු දහමින් ගොඩනැගුණු මහා සංස්කෘතිය අප මාතෘ භුමිය සිසාරා සෑම ගම් දනව්වකම පැතිර ගියා මෙන්ම  අන් ආගම් හා උපසංස්කෘතීන් කෙරෙහි වු සහනශීලි බෞද්ධ පිළිවෙත සමගියේ හා සහජීවනයේ පදනම බවට පත්වූ බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසනවා.