Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාව යළි මාස්ක් පැළඳීම අනිවාර්යය කරයි




උතුරු අමෙරිකාවේ වෙසෙන මිලියන ගණනක් වන වැසියන්ට සිය නිවෙස්වලින් පිටතට යන්නේ නම් මුව ආවරණ පලඳින ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, කැනඩාවේ පැතිර යන ලැව්ගිනි හමුවේ පිටවන ඝණ දුමාරය අමෙරිකාවේ ප්‍රදේශ රැසක් පුරා පැතිර යාම හේතුවෙන්.

පවතින තත්ත්වය අනුව එන් 95 වර්ගයේ මුව ආවරණ පළඳින ලෙසයි සෞඛ්‍ය බලධාරීන් උතුරු අමෙරිකානු වැසියන්ට උපදෙස් ලබා දී ඇත්තේ. 

දුමාරය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසක වායු ගුණ තත්ත්වය අයහපත් මට්ටමට පැමිණ තිබෙනවා.

එහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝර්ක් ප්‍රාන්තයට බව ද සඳහන්. ඉකුත් අගහරුවාදා ලොව වායු දූෂණය අධිකම නගරය ලෙස ඉදිරියට පැමිණ තිබුණේ නිව්යෝර්ක් නගරය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව දුම්රොටු වලින් නිව්යෝර්ක් අහස වැසී යාම හමුවේ එහි වායු ගුණ තත්ත්වය ඉන්දියාවේ නවදිල්ලි නුවරට සහ ඉරාකයේ බැග්ඩෑඩ් නුවරටත් වඩා ඉතා පහළ අගයක පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පවතින සෞඛ්‍ය අවධානම හමුවේ නිව්යෝර්ක් වැසියන්ට අද සිට මුව ආවරණ නොමිලේ බෙදා දීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන්. කැනේඩියානු සෞඛ්‍ය අංශ ද එරට ජනතාව දැනුවත් කර ඇත්තේ නිවෙස් තුළ රැඳී සිටීමට නොහැකි නම් මුව ආවරණ පැළඳිය යුතු බවයි. 

කැනඩාවේ සහ අමෙරිකාවේ පවතින අයහපත් වායු ගුණ තත්ත්වය සති අන්තයේදී ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

වැඩි දුමාරයක් පැමිණෙන්නේ කැනඩාවේ කියුබෙක් පළාතෙන්. එහි ස්ථාන 150 ක ලැව්ගිනි ව්‍යාප්තව ඇතැයි සඳහන්. එරට ටොරොන්ටෝ නගරය ද දුමාරය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.