Friday, April 26, 2024

General line - 0115112241

අතුරුදන් වූවන් හා සිරකරුවන් නිදහස් කිරීම ගැන ජනපතිගෙන් තීරණයක්




සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි. 

නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙම සාකච්ඡාවේදී සමාලෝචනය කර තිබෙනවා.

ඵ් අනුව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම ඵ් අතරට අයත්.

මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලය තුළ අවසන් කර, ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා අදාළ පාර්ශව වෙත උපදෙස් ලබා  දී ඇත්තේ.

සිරකරුවන් නිදහස් කිරීම සහ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය හරහා ඉදිරිපත් කරන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.