Sunday, May 12, 2024

General line - 0115112241

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති නොකරන බව ජනපති කියයි




කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වුවහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව කියා සිටියා. 


විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට අද සිට අවස්ථාව සැලසෙනවා.

මේ අතර ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා ජනතාවට අවශ්‍ය සියලුම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළා.