Sunday, May 12, 2024

General line - 0115112241

රටේ කර්මාන්ත් ක්ෂේත්‍රයේ දැවැන්ත පසුබෑමක්




මේ වසරේ ගතවූ පළමු මාස 03 තුළ රටේ කර්මාන්ත සහ සේවා අංශවල කඩාවැටීමක් සිදුව තිබෙනවා.

ඒ, ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුවයි.

කර්මාන්ත අංශය ගත් කළ වැඩිම අගයකින් පසුබෑමක් වාර්තා කර ඇත්තේ පතල් කැණීම් හා කර්මාන්ත අංශයයි.

එය සියයට සෘණ 45 යි දශම 7 ක්.

ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීඹ සියයට 37 යි දශම 3 ක් වනවා.

මීට අමතරව ලෝහ නිෂ්පාදනය සියයට 43 යි දශම 7 කින්ද, යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය සියයට 35 කින්ද සෘණ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ගෘහ භාණ්ඩ නිෂ්පාදනය, දැව ආශ්‍රිත නිෂ්පාදන සහ වෙනත් නිමැවුම් යන කර්මාන්ත ක්ෂේත්‍රවල ආර්ථික වර්ධනය ද පසුබෑමකට ලක්ව ඇත්තේ සියයට සෘණ 30 කටත් වඩා වැඩි අගයකින්.  

රබර් සහ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම ආහාර හා දුම්කොළ මෙන්ම නිමි ඇඳුම් හා සම් භාණ්ඩ නිස්පාදනයද, කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන යන කර්මාන්ත ක්ෂේත්‍රවල ද පෙන්නුම් කර ඇත්තේ පසුබෑමක්.

කෙසේවෙතත් පිරිපහදු කළ ඛණිජ නිෂ්පාදන කර්මාන්තය මෙම කාර්තුවේදී සියයට 92 යි දශම 9 කින් වර්ධනය වී තිබෙනවා. එය ධන වර්ධන වේගයක් වාර්තා කළ එකම කර්මාන්ත ක්ෂේත්‍රයයි.

ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 පළමු කාර්තුවේදී සමස්ථ කර්මාන්ත ආර්ථිකයේ දක්නට ලැබුණේ සියයට 3 යි දශම 7 ක පසුබෑමක්. මේ වසරේ පළමු කාර්තුවේදී එය සියයට 23 යි දශම 4 ක් දක්වා පසුබැස තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

සමස්ථයක් ලෙස ගත් කළ මේ වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පසුබෑම සියයට 11 යි දශම 5 ක්.

ඒ අතරින් කර්මාන්ත ආර්තික කටයුතු පමණක් සියයට 23 යි දශම 4 කින් පසුබැස තිබෙනවා.

සේවා ආර්ථිකයේද වාර්තා වන්නේ සියයට 5 ක පසුබෑමක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සියයට 0 යි දශම 8 ක සුළු වර්ධනයක් පෙන්නුම් කරන බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවල වැඩිදුරටත් සඳහන්.

2018 වසරේ සිට ගත් කළ අඩුම දළ දේශීය නිෂ්පාදිතය වාර්තාවී ඇත්තේ 2023 වසරේදී වීමද කැපී පෙනෙන තත්ත්වයක්.