Sunday, September 22, 2024

General line - 0115112241

අම්බලන්ගොඩ විදුහල්පතිවරයාට පහර දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ජයකාන්ත ලියනගේ




අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර අද නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී පොලීසියට නියෝග කළේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කොස්ගොඩ හෑගල්ල පන්සල පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඊයේ පස්වරුවේ විදුහල්පතිවරයාගේ නිල කාර්යාලය තුලදී මෙම පහරදීම සිදුව තිබෙනවා.

ඒ, එම විදුහලේ බැඩ්මින්ටන් ක්‍රිඩාව මුල් කර ගත් ගැටළුවක් හේතුවෙන්.

මේ අතර විදුහල්පතිවරයාට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අම්බලන්ගොඉ ශ්‍රී දේවානන්න විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.

ඒ හේතුවෙන් පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පාසලේ 152 ක් වන ගුරුවරුන් අතරින් අද දිනයේ සේවයට වාර්තා කර ඇත්තේ 05 දෙනෙකු පමණයි.

3,500 ක් පමණ වන එම විදුහලේ සමස්ථ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් අද දිනයේ පාසලට පැමිණ තිබුණේ 200 කට අඩු පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.