Tuesday, May 7, 2024

General line - 0115112241

පොලිස් අත්අඩංගුවේදී මියගිය රාජකුමාරිගේ මරණයට අදාල වාර්තාව ගැන අධිකරණයෙන් දැනුම්දීමක්

උදය කුමාර




වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව කියන රාජකුමාරි නැමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අද නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබුවා. 

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තෙකු කියා සිටියේ වැලිකඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් මියගිය රාජකුමාරි නමැත්තියට පහර දෙනු තමන් දුටු බවයි.

දිනක් තමා  පිටකොටුව ප්‍රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ තමන්ට මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජකුමාරි සේවය කළ නිවසට රැගෙන ගිය බවද සාක්ෂිකරු පැවසුවා.

පසුව රාජකුමාරි නැමත්තියද කැඳවාගෙන ආ පොලිසිය තම අතේ තිබූ මාංචුවේ අනිත් කොන ඇයගේ අතට දැමූ බවත් සාක්ෂිකරු කියා සිටියා.

මෙසේ රාජකුමාරි රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් නොතිබූ බවත් ඇය හොඳින් ඇවිද පැමිණි බවත් සාක්ෂිකරු සඳහන් කළා. 

පසුව වැලිකඩ පොලීසියට තමන් සහ රාජකුමාරි රැගෙන ආ බවත් එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තමන්ට සහ රාජකුමාරිට ද පහර දුන් බව සඳහන් කළ සාක්ෂිකරු එම නිලධාරීන්ගේ හැඬරුව සම්බන්ධයෙන් ද සඳහන් කළා.

ඉන් එක් පොලිස් නිලධාරියෙකු රබර් බටයකින්ද රාජකුමාරිට පහර දෙනු තමන් දුටු බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබුණා.