Friday, May 17, 2024

General line - 0115112241

රුසියාව කැළබෙයි




රුසියානු හමුදාවේ පවතින අභ්‍යන්තර අර්බුදයක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. එම වාර්තා පවසන්නේ රුසියානු හමුදාව සහ යුක්රේන යුද්ධයේදී ඔවුන්ට සහය ලබා දෙන කුලී හමුදාව වන වැග්නර් සන්නද්ධ කණ්ඩායම අතර මෙම අර්බුදය පවතින බවයි. එහිදී රුසියානු හමුදාව චෝදනා කර ඇත්තේ වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායකයා වන යෙව්ගනි ප්‍රිගොෂින් සන්නද්ධ කැරැල්ලකට සූදානම් වන බවයි.
රුසියානු හමුදාව සහ වැග්නර් කුලි හමුදා කණ්ඩායම අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වෙමින් තිබෙන පසුබිමක් තුළ රුසියානු හමුදාව මෙම චෝදනාව එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිය හමුදාව යුක්රේනයේ සිට රුසියාවට දේශසීමා තරණය කර ඇති බවත් රුසියානු හමුදාවට එරෙහිව සියලු‍ මාර්ගවලින් යාමට සූදානම් බවත් ප්‍රිගොෂින් පවසා ඇති බවයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රුසියානු හමුදාව ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව ද දැනුවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාගේ නියමයෙන් රුසියාවේ මොස්කව් අගනුවර ආරක්ෂාව ද තර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.