Saturday, May 11, 2024

General line - 0115112241

ඇපලටොක්සින් රහිත බඩඉරිගු හමුවන තෙක් දරුවන්ට ත්‍රී පෝෂ නොලැබෙයිද?




ඇපලටොක්සින් රහිත බඩ ඉරිඟු සොයා ගන්නා තෙක් දරුවන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කළ නොහැකි බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව පවසනවා.

එහි සභාපති දීප්ති කුලරත්න පැවසුවේ තෝරා ගත් ගොවීන් 10,000 ත් 15,000ත් අතර ප්‍රමාණයක් ත්‍රිපෝෂ සමාගම හරහා ලියාපදිංචි කර එම ගොවින් නඩත්තු කිරීම සඳහා සමාගම් ද සොයා ගත යුතු බවයි.

අනතුරුව ත්‍රිපෝෂ සමාගමේ අධීක්ෂණය යටතේ එම ගොවීන් ලවා බඩඉරිඟු වගා කර ඒවා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට භාවිතා කිරීම දැනට පවතින සැලසුම බවද  ත්‍රිපෝෂ සංස්ථාවේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා. 

දේශීය ගොවීන් ත්‍රිපෝෂ සමාගම හා සම්බන්ධ කර ගනිමින් එම ගොවීන්ගෙන් විශේෂ මිලක් යටතේ ගුණාත්මක තත්ත්වයෙන් යුත් බඩ ඉරිඟු මිලදී ගැනීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

කෙසේ වෙතත් එම වැඩසටහන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බවයි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාවේ සභාපති දීප්ති කුලරත්න පැවසුවේ.

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර හිමිව ඇති බැවින් එලෙස ආනයනය කරන බඩ ඉරිඟු ඇපලටොක්සින් රහිත නම් ඒවායින් ත්‍රිපෝෂ නිශ්පාදනය කිරීමට කඩිනම් පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.