Sunday, May 12, 2024

General line - 0115112241

බස්නාහිර පළාතේ අවිධිමත් කසල බැහැර කිරීම සියයට 50 කින් පහළට




බස්නාහිර පළාත තුළ අවිධිමත් ලෙස කසල බැහැර කිරීම මෑත කාලයේදී අඩුවී ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම නෙත් නිවුස් වෙත කියාසිටියේ මීට පෙර සියයට 80ක  පමණ මට්ටමක  පැවති බස්නාහිර පළාතේ අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම මේ වනවිට සියයට 40ක පමණ ප්‍රතිශතයක් දක්වා අඩු වී ඇති බවයි.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම ඩෙංගු ව්‍යාප්තිය සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන බැවින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසි පරිදි කළමණාකරණය කර ගැනීම ප්‍රධාන අරමුණක් වන බවද බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා මෙහිදී කියාසිටියා.

අපද්‍රව්‍ය කළමණාකරණය කිරීමේ සමස්ත වගකීම ජනතාව සතු බැවින් පළාත් පාලන ආයතන හරහා හෝ ප්‍රතිචක්‍රීකරණය සිදු කරන ආයතන හරහා නිසි පරිදි කසළ බැහැර කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.


කරදියනාරු ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ දෙවන අපද්‍රව්‍ය  දහනාගාරය ඉදි කිරීම සඳහා බාධා එල්ල නොවුනේ නම් කසළ කළමණාකරණය සඳහා වර්තමානයේ පවතින ගැටලු සහ බාධා මතු නොවන බවද බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළා.