Sunday, May 12, 2024

General line - 0115112241

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට




අපරාධකරුවන්ට රටින් පැන යාමට සදහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරන ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් ඉකුත් 22 වනදා කඩවත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන  ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඒ, හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 400 ක් සමගයි.

එම සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීම සදහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කිරිල්ලවල, පිළියන්දල හා පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම සැකකරුවන් රැදවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පැවසුවා.