Sunday, May 12, 2024

General line - 0115112241

ණය ගැටලු මැද අර්බුදයට යන බලශක්ති සැපයුමේ කතාව




පසුගිය දශකය තුළ, දිවයිනේ ආර්ථිකය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති ඉදිකිරීමට චීනය අරමුදල් සම්පාදනය කළේය.

කෙසේ වෙතත්, මේ වසර මුලදී ඉන්දියන් සාගරයේ පිහිටි මෙම කුඩා දිවයින ආර්ථික වශයෙන් කඩා වැටීමෙන් පසුව, එය මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම අර්බුදයට මෙම ව්‍යාපෘති දායක වී තිබේද යන්න ප්‍රශ්නය මතු විය.

එම ප්‍රශනය මතුවීමට බලපෑ ප්‍රධානම හේතුව වන්නේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාව දරන උත්සාහයේදී චීනය දිගින් දිගටම ප්‍රදර්ශනය කරන බරපතල නිශ්ශබ්දතාව සහ සිය ණය වෙනුවෙන් සහනයක් ලබාදීමට ඉදිරිපත් වීමට දක්වන මැලිකමයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත පුනර්ජීවනය කරවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින අතර, එහි ප්‍රධානම කොන්දේසියක් වන්නේ, මෙතෙක් ලබාගෙන ඇති ද්විපාර්ශ්වික ණය පළමුවෙන් ප්‍රතිව්‍යුහගතකරණය කරගත යුතු බවයි.

ගණනය කර ඇති එම ණය තොගය වන ඩොලර් බිලියන 14කට වඩා වැඩි ප්‍රමාණයෙන් සියයට 52කම අයත් වන්නේ චීනයටය.

ඒ අනුව ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමේදී චීනයේ දායකත්වය කෙතරම්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

එහෙත් එම සහායන් වෙනුවෙන් සිදුකෙරෙන ඉල්ලීම් හමුවේ චීනයට ඇත්තේ ඉතාම උදාසීන ප්‍රතිපත්තියකි. 

අනෙක් අතට චීනය විසින් ගෙවීගිය දශකයේ ශ්‍රී ලංකාවේ දියත් කළ මහාපරිමාණ ව්‍යාපෘතිවලින් බහුතරයක් මේ වන විට 'සුදු අලි' බවට පත්ව තිබීම රහසක් නොවේ.

කොළඹ මුහුදු තීරයේ ආධිපත්‍යය දරන වරාය නගරයක් ගොඩනඟා ඇත්තේ මුහුදෙන් ගොඩගත් හෙක්ටයාර 269 ක භූමි භාගයක ය.

එය සමෘද්ධිමත් ව්‍යාපාරික හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට නියමිත බව පවසුණද වසර ගණනාවකට පසුවත් එය තවමත් පවතින්නේ පාළුවට ගොස්ය.

විවිධ අවස්ථාවල යම් යම් ව්‍යාපාරික ආයතනවල නම් ප්‍රසිද්ධියට පත්කරමින් විවිධ ගිවිසුම් අත්සන් කෙරුණද කොළඹ වරාය නගරය වෙනුවෙන් මෙතෙක් නිල වශයෙන් මුදල් යෙදවූ ආයෝජකයෙක් දැකගත නොහැකිය.

වරාය නගරය පමණක් නොව දශකයකට පමණ පෙර, ශ්‍රී ලංකාවේ දකුණු කෙලවරේ මත්තල නගරයේදී ආරම්භ කරන ලද ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැඳින්වෙන්නේ "ලෝකයේ හිස්ම ගුවන් තොටුපල" ලෙසිනි.

එපමණක්ද නොව කොළඹ නගර මධ්‍යයේ නැගීසිටින නෙලුම් කුළුණද, එය ඉදිකර වසර ගණනාවකට පසුවත් කිසිදු ආදායමක් ජනනය නොකරන හුදු 'කණුවක්' බවට පත්ව ඇත.

ඒ වෙනුවෙන් වැයකරන ලද ඩොලර් මිලියන 130කට වැඩි මුදල වැයවූ ආකාරය පිළිබඳව මෙරට හිටපු ජනාධිපතිවරුන් පවා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර ඇත.

අද වන විට එය සීමිත පිරිසක් පමණක් භාවිත කරන හුදු නැරඹුම් ස්ථානයක් පමණක් වී තිබේ. 

මේ සියල්ල අතර ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි චීනය දක්වන උනන්දුව හම්බන්තොට වරාය ඉදිකිරීමත් සමඟ ප්‍රකට විය.

ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරන ලද මෙම වරාය ව්‍යාපෘතිය මූල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දුන් අතර, අවසානයේ එය 2017 දී වසර 99 ක කාලයක් සඳහා ඊට ණය ලබාදුන් චීනයටම බදු දීමට සිදුවිය.

මෙම පියවර අත්හැර දමා තිබූ වරාය පුනර්ජීවනය කිරීමේ අවස්ථාවක් ලෙස චීන පාර්ශ්වය විසින් හුවාදක්වනු ලැබුවද, බදු දීම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සැලකිය යුතු ලෙස අවදානමකට ලක්කරන බවට ඉදිරිපත් කෙරෙන කනස්සල්ලට කාරණයක් විය. 

හම්බන්තොට වරාය පාලනය කිරීමත් සමඟ චීනය ඉන්දියානු සාගරයේ උපායමාර්ගික අඩිතාලමක් නිර්මාණය කරගැනීමට සමත්විය.

එමඟින් සමුද්‍රීය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ කලාපයේ ඉන්දියාවේ සම්ප්‍රදායික ආධිපත්‍යයට අභියෝග කිරීමට චීනය ඉඩ සලසා ගත්තේය.

මේ සම්බන්ධයෙන් ඉන්දියාව සහ අනෙකුත් කලාපීය බලවතුන් යන දෙපිරිසම අනතුරු ඇඟවීමේ සීනුව නංවා ඇති අතර, ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම නොදැනුවත්වම චීනය විසින් අනෙකුත් බලවතුන් අතර භූ දේශපාලනික එදිරිවාදිකමේ අතකොළුවක් බවට පත්කිරීමේ සැලැස්මක් දියත්කර ඇති බව පෙන්වාදී තිබේ.

එය කලාපය තුළ ආතතීන් ඇති කර ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හෑල්ලුවට ලක්කරන්නක් බව මෙම අනතුරු ඇඟවන්නෝ පෙන්වාදෙති.

වරායට අමතරව චීනය ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් සඳහා ද විශාල වශයෙන් ආයෝජනය සිදුකර ඇත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සහ ජල විදුලි ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම ඊට ඇතුළත් වේ.

කෙසේවෙතත් මෙම ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ බලශක්ති ධාරිතාව වැඩිකර ඇති නමුත් ෆොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීමට දායකවී නොමැත.

විශේෂයෙන් නොරොච්චෝලේ බලාගාරය මේ වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයේ මධ්‍ය ලක්ෂය බවට පත්ව ඇතැයි පැවසීම අසත්‍යයක් නොවේ.

ඊට හේතුව රටේ විදුලිය ජනනයෙන් සියයට 44ක් පමණ පාලනය කරන නොරොච්චෝලේ බලාගාරය වසරකට සලකිවයුතු වාර ගණනක් වසාදැමීමයි.

ජන යන්ත්‍රවල දෝෂ බව පවසමින් සිදුකෙරෙන එම වසාදැමීම් හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධව මාෆියාවක් බිහිවී ඇති අතර, නොරොච්චෝලේ පෙන්වමින් නිරන්තරයෙන් වැඩි මිලට හදිසි තාප විදුලිය මිලදී ගැනීමේ දුෂිත යාන්ත්‍රණයක් නිර්මාණය වී ඇත.

අනෙක් අතට නොරොච්චෝලේ වෙත ගල්අඟුරු ආනයනය කිරීමද දූෂිත ගනුදෙනුවලින් පිරි ඇති ක්‍රියාවලියකි. 

ශ්‍රී ලංකාව සිය පාලනයට නතුකර ගැනීමේ ප්‍රධාන තුරුම්පුව බලශක්ති ක්ෂේත්‍රය අත්පත් කරගැනීම බව චීනය විසින් අවබෝධ කරගෙන ඇත.

එමනිසාම නොරොච්චෝලේ බලාගාරයට අමතරව හැකි සෑම ආකාරයකින්ම මෙරට විදුලි බල නිෂ්පාදනයට පිවිසීමට චීනය ගන්නේ විශාල උත්සාහයකි.

එහි එක් පියවරක් වූයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි වකවානුවේ උතුරු පලාතේ දූපත් 03ක පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පිඹුරුපත් සකස් කිරීමයි.

චීනය එහිදී උත්සාහ කරන ලද්දේ 'එක ගලින් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමයි'.

එනම්, චීනයට අවශ්‍ය වූයේ සිය බලශක්ති ජනන ආධිපත්‍යය තවදුරටත් ව්‍යාප්ත කරන අතරේ ඉන්දියාවට ආසන්නයෙන් ක්‍රියාත්මක වෙමින් කලාපීය බල තුලනයට බලපෑම් කිරීමයි.

එහෙත් එම උත්සාහයේ පැවැති අවදානම ඉන්දියාව විසින් ඉතාම දැඩි ලෙස පෙන්වාදීමෙන් අනතුරුව අදාළ කැබිනට් පත්‍රිකාව හකුළාගැනීමට රජයට සිදුවිය. 

එහෙත් එතැනිනුදු නොනැවතුණු චීනය දැන් ආක්‍රමණය කිරීමට සුදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළයි.

ඒ වෙනුවෙන් යොදවා ඇත්තේ සිනොපෙක් නම් චීන සමාගමයි.

සිනොපෙක් විසින් මේ වන විටත් ශ්‍රී ලංකාව සමග දේශීයව ඉන්ධන අලෙවි කිරීම සඳහා ගිවිසුමකට එළැඹී ඇත.

එම ගිවිසුම යටතේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 150ක් මූලික වටයේදී චීන සමාගමට ලබාදීමට නියමිතය.

එහෙත් ඒ වෙනුවෙන් ලබාදීමට සංස්ථාව සතුව වෙනම පිරවුම්හල් නොමැත.

ඒ නිසා සංස්ථාව මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ, විවිධ හේතු දක්වමින් දේශීය ව්‍යාපාරිකයන්ට බදුදී ඇති සිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කර, ඒවා චීන සමාගමට ලබාදීමටය.

එය පැහැදිලිවම දේශීය ව්‍යාපාරිකයන් පිරිසකගේ ආර්ථිකය බිඳදැමීමකි. 

ඊට අමතරව නොරොච්චෝලේ බලාගාරයේ සම්පුර්ණ අයිතිය අත්පත් කරගැනීමටද චීනය මේ දිනවල උත්සාහ කරමින් සිටින බවට වාර්තා අනාවරණය කරයි.

එහිදී හම්බන්තොට වරාය අත්පත් කරගත් ක්‍රමවේදයට අනුව බලාගාරයද සිය පාර්ශවයට පවරාදෙන ලෙස චීනය රජයට දැනුම්දී ඇතැයි පැවැසේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදීමේ ක්‍රියාවලියට සහයක් ලෙස චීනය මෙම කොන්දේසිය ඉදිරිපත් කර ඇතැයි පැවසේ.

ඒ අනුව පැහැදිලිවම පෙනීයන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන තීරණාත්මක ක්ෂේත්‍රයක් වන බලශක්තිය සම්පුර්ණයෙන්ම පාහේ අත්පත් කරගැනීමේ චීනයේ ප්‍රවේශය එකිනෙකට වෙනස් උපායමාර්ග ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එහි පවතින භයානක තත්වය වන්නේ රටේ ණය අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව මෙවැනි උත්සාහයන් හේතුවෙන් මුළුමනින්ම තර්ජනයට ලක්විම මිස අන් කිසිවක් නොවේ.