Tuesday, May 21, 2024

General line - 0115112241

වැලිකඩින් පැන්න රැඳවියා ගැන තොරතුරු රැසක් අනාවරණය වෙයි




මරණ දඬුවමට ලක්ව සිටි සිරකරුවෙකු පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පළා ගොස් ඇත්තේ ඔහුගේ පෙර සැලසුමක් මත බවට මේවනවිට අනාවරණය වෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

රාජකාරී සඳහා යොදවනු ලබන නිසි නිලධාරියා නොමැති අවස්ථාවක ඔහු එලෙස බන්ධනාගාරයෙන් පළා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් මරණ දඬුවමට ලක්ව සිටින සිරකරුවෙකු බන්ධනාගාර වාට්ටුවෙන් පිටතට වෙනත් කටයුතු සඳහා රැගෙන යා යුත්තේ ජේලර්වරයෙකුගේ අධීක්ෂණය යටතේයි.

එහෙත් පසුගිය 25වනදා අදාළ සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවෙන් පිටතට රැගෙන ගොස් ඇත්තේ බන්ධනාගාර නියාමකවරයෙක් බවයි වාර්තා වුණේ.

එවැනි අවස්ථාවක බන්ධනාගාරයෙන් පළා යාමට සිරකරු විසින් මීට පෙර බන්ධනාගාර නිල ඇඳුමක් කුමන හෝ ස්ථානයක සඟවා තබන්නට ඇති බවටද බන්ධනාගාර නිලධාරීන් සැක පළ කරනවා.

කෙසේවෙතත් නිසි ක්‍රමවේදය යටතේ මරණ දඬුවමට ලක් වූවන් එදින වාට්ටුවෙන් පිටතට ගෙන නොමැති බවට වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ට ද චෝදනා එල්ල වනවා. 

මේ අතර අදාළ සිරකරුවා බන්ධනාගාරයෙන් පළා ගොස් දුම්රියක ගමන් කරමින් සිටියදී මරදාන දුම්රිය ස්ථානයේදී එදිනම අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්  විමර්ශන ක්‍රියාත්මකයි.

එදින රාජකාරී සිදු කළ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 15කට ආසන්න පිරිසකගෙන් සහ සිරකරුවන් තිදෙනෙකුගෙන් පමණ මේවනවිට විමර්ශන සිදු කරන නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

එදින යළි වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ සිරකරු මේවනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර විමර්ශන සිදු කරන කණ්ඩායම් දින 3ක් ඇතුළත එම බන්ධනාගාරයට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව ලබන සතියේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.