Wednesday, May 22, 2024

General line - 0115112241

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අධිකරණයට දැනුම්දෙයි.

උදය කුමාර




රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63 දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සේවා කාලය දීර්ඝ වන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මඟින් සඳහන් කර තිබෙනවා.

එහිදී පෙත්සම්කාර වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකලොත් ගැටලුවක් මතුවිය හැකි නිසා පෙත්සම යළි කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසයි.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.