Tuesday, May 21, 2024

General line - 0115112241

තුන්වන ශ්‍රේණියේ නව විදුහල්පතිවරුන් පත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

උදය කුමාර




2019 වසරේ පවත්වන ලද සීමිත තරඟ විභාගය පදනම් කරගෙන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා නව පත් කිරීම් සිදු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, රත්නපුර, අමුහේන්කන්ද ශ්‍රී විමලසාර විද්‍යාලයේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගුරු සේවයට අයත්  දෙවන ශ්‍රේණියේ ගුරුවරයකු වන පූජ්‍ය බුද්දං කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින්. විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරු 1,918 ක් පිරවීමට අදාළව 2019 වසරේ පෙබරවාරි මස 13 දා තරග විභාගයක් පැවති බවයි.

එම විභාගය සඳහා ගුරුවරුන් විසිතුන්දහසක් පමණ ඉදිරිපත් වූ අතර ඉන් 3,881 ක් දෙනෙකු සමත් වූ බවත්, ඒ අතරින් 1,918 දෙනෙකුට පත්වීම් පිරිනැමුණු බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

මේ අතර විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණිය සඳහා යළි පුරප්පාඩු පිරවීම වෙනුවෙන් ඉකුත් මැයි මස 8 වනදා නව ගැසට් නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙන බවත් පෙත්සමේ සඳහන්.

ඒ යටතේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට නියමිත බවද එහි දක්වා තිබෙනවා.

ඒ අනුව 2019 වසරේ පවත්වන ලද තරඟ විභාගයේදී සමත්වූවන් පදනම් කරගෙන මෙම පුරප්පාඩු පිරවීමට වගඋත්තරකරුවන් කටයුතු සැලසුම් කර ඇති බවත්, ඒ තුළින් සෙසු අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් පෙත්සම්කාර පූජ්‍ය බුද්දං කෝට්ටේ සුමනචන්ද්‍ර හිමියන් පෙන්වා දී තිබෙනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි උන්වහන්සේ අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම නව තරඟ විභාගයක් පවත්වා අදාළ පත්වීම් පිරිනමන ලෙස අධ්‍යාපන බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විදුහල්පති සේවයේ තුන් වන ශ්‍රේණිය සඳහා නව පත්කිරීම් සිදු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන අතර එම පෙත්සම නොවැම්බර් මස 6 වනදා යළි කැඳවීමට නියමිතයි.