Monday, May 20, 2024

General line - 0115112241

මේ පාර කොදෙවුවන්ට කුමක් වෙයි ද ?




එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් කණ්ඩායම් 06 සහභාගී වන තීරණාත්මක තරඟ අද සිට ආරම්භ වනවා.

අද තරඟවදින්නේ සත්කාරක සිම්බාබ්වේ සහ ඕමාන් කණ්ඩායමයි. 

සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයට කණ්ඩායම් 10 ක් එක්වූ අතර ඉන් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබූ කණ්ඩායම් 06 මෙම වටයට තේරී පත්වුණා.

ඒ අතරින් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ හමුවේ පරාජයට පත්වූ කණ්ඩායම් දෙක බැඟින් මෙම වටයට තේරීමත් සමඟ තරඟ වටය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට ප්‍රසාද ලකුණු 04 බැඟින් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් මෙම වටයට සුදුසුකම් ලැබූ දෙවරක් ලෝක ශූරයින්වූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට කිසිදු ප්‍රසාද ලකුණක් ලබාගැනීමට නොහැකිවීමත් සමඟ ඔවුන් මේ වන විට පසුවන්නේ ලෝක කුසලානයට සුදුසකම් ලැබීමේ අවදානම් තැනකයි. 

මේ අතර අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් තරඟ සියයකට ක්‍රීඩා කළ ලොව පළමු දඟ පන්දු යවන ක්‍රීඩකයා බවට පත්වීමේ දුර්ලභ වාර්තාවකට හිමිකම් කීමට ඔස්ටේ්‍රලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් සමත්වී තිබෙනවා.

අඛණ්ඩව ටෙස්ට් ක්‍රිකට් තරඟ සියයකට මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩකයින් පස් දෙනෙකු පමණයි. ඔවුන් පස් දෙනාම පිතිකරුවන්.

ඇලිස්ටෙයාර් කුක්, ඇලම් බෝර්ඩර්, මාර්ක් වෝ, සුනිල් ගවස්කාර් සහ බ්‍රෙන්ඩන් මැකලම් මීට පෙර අඛණ්ඩව ටෙස්ට් තරඟ සියයකට ක්‍රීඩා කර තිබුණා.