Monday, May 20, 2024

General line - 0115112241

පොලීසිය නිසා ප්‍රංශයත් ගිනි ගනී - 150 ක් අත්අඩංගුවට




17 හැවිරිදි බාලවයස්කාර තරුණයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියයාම හමුවේ ප්‍රංශයේ පැරිස් නුවර ආරම්භ වූ මහජන විරෝධතා තවදුරටත් තියුණු මුහුණුවරක් ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් 150 කට අධික පිරිසක මේවනවිටත් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් අණ නොතකා අදාල බාලවයස්කාර තරුණයා විසින් මෝටර් රථයක් පදවා තිබූ අතර අනතුරුව පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයක් හමුවේ ඔහු මිය ගොස් තිබුණා.

අදාල තරුණයාට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමග කෝපයට පත් ජනතාව පොලීසියට එරෙහිව විරෝධතා ආරම්භ කළා.

මේවනවිට දෙවන දිනටත් ක්‍රියාත්මක විරෝධතා හමුවේ විරෝධතාකරුවන් පොලිස් ස්ථානවලට, පොලිස් නිලධාරීන්ට හා රථවාහනවලට ගිනි තබමින් කලහකාරීව හැසිරෙන බවයි විදෙස් මාධ්‍ය කළේ.

දැනට සිදුකෙරෙන පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඇල්ජීරියානු ජාතික සම්භවයක් සහිත තරුණයෙකු බවයි.

2017 වසරේ සිට රථවාහන සිද්ධි සම්බන්ධයෙන් ප්‍රංශ පොලීසිය අතින් ඝාතනයට ලක්වූ බොහෝ පිරිසක් කළු ජාතිකයින් හෝ අරාබි සම්භවයක් සහිත පුද්ගලයින් බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ.

අදාල ඝාතන සිද්ධිය හෙළා දකිමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් ද පොලීසියට දොස් පවරා ඇතැයි සඳහන්.