Monday, May 20, 2024

General line - 0115112241

කිසිවකු අත නොහැරෙන ලෙස අස්වැසුම ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්




කිසිවකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවෙකු අත නොහැරෙන ලෙස අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ රජය විසින් නිකුත් කර ඇති නිර්ණායක මත කටයුතු කරන ලෙසද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් ලබා දි ඇති බවයි. 

අස්වැසුම සුබසාධක වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරා ගැනිමේදී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් මේවනවිට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10වනදා දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත අයදුම්පත් මිලියන 3යි දශම 7ක් ලැබී ඇති අතර සිදු කළ සමීක්ෂණයෙන් අනතුරුව අයදුම්පත් මිලියන 3යි දශම 3ක් තෝරා ගෙන ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභීයාචනා සහ විරෝධතාවලට යටත්ව මිලියන 2ක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.