Tuesday, May 21, 2024

General line - 0115112241

ණය ප්‍රතිව්‍යහුගතකරණයේ හිර වෙන තැන්




දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සුදානම් වනවායැයි පවසමින් ආණ්ඩුව මේ දිනවල විශාල ක්‍රියාවලියකට සුදානම් වන බවක් පෙනෙන්නට තිබේ.

ඒ වෙනුවෙන් දින 05ක කාලයක් රටේ බැංකු පද්ධතියට නිවාඩු ලබාදීම සහ සමස්ත වෙළඳපොළ අක්‍රිය කිරීම රටේ ආර්ථික කටයුතු සැළකිවයුතු ලෙස අඩපන කිරීමට මෙන්ම, ජනතාව අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමටද හේතුවී තිබේ.

කෙසේවෙතත් මේ වනතුරුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යන්නෙන් කුමක් අදහස් කරන්නේද යන්න රජය පැහැදිලිව ප්‍රකාශ කර නැත.

එහෙත් එම ක්‍රියාවලිය වෙනුවෙන් අනුමැතිය ලබාගැනීමට පසුගිය 28 වැනිදා ජනාධිපතිවරයා විසින් හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණු අතර, එහිදී වැඩි අවබෝධයකින් තොරව වුවද සමස්ත කැබිනට් මණ්ඩලයම අත් ඔසවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර තිබිණි.

එම අනුමැතියට අනුව ලබන සති අන්තයේ කැඳවන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයකදී මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

ආණ්ඩුවේ අදහස වන්නේ එම පාර්ලිමේන්තු සැසියෙන් අනතුරුවම මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමටය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකරන්නේ නම්, ඊට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවයි.

එසේම ආණ්ඩුව විසින් මෙම කටයුත්ත සිදුකරන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) ඉදිරියට දමාගනිමින් වුවද, IMF විසින් එලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුකළ යුතු බවට රජයට නිර්දේශ කර නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වාදී ඇත.

මේ වනතුරුත් ආණ්ඩුව විසින් IMF සමග අත්සන් කර ඇති එකඟතා ගිවිසුම ප්‍රසිද්ධියට පත්කර නොමැති බැවින් මන්ත්‍රීවරයාගේ එම තර්කයට සාධාරණ වලංගුභාවයක්ද ලැබෙන බව දැකගත හැකිය. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ගැටලුව එසේ පවතිද්දී, IMF විසින් නිර්දේශ කර ඇති විදේශීය ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියද මෙතෙක් අවසන් කරගැනීමට රජය අපොහොසත්වී ඇත.

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ, සුපුරුදු පරිදි චීනයයි. ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජයේ සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සිය ණය සාධාරණ පදනමකින් ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකර ඇති නමුත්, මාස ගණනකට පසුවත් චීනය තවමත් සිය ස්ථාවරය ප්‍රකාශය පත්කර නැත. IMF විසින් සිය පළමු ණය වාරිකය ශ්‍රී ලංකාව වෙනුවෙන් නිකුත් කරන ලද්දේ පසුගිය මාර්තු මාසයේදීය.

ඉන් අනතුරුව IMF අවධාරණය කරන ලද්දේ සිය දෙවන වාරිකය නිකුත් කිරීමට පෙර ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම සඳහා එකඟතා සැලැස්මක් ලබාගන්නා ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තම පාර්ශ්වයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම ඉන්දියාව ප්‍රමුඛ අනෙක් පාර්ශ්වයන් සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරදෙන ආකාරය පිලිබඳ දල සැලැස්මක් ඉදිරිපත් කළේය.

එහිදී වඩා ප්‍රගතිශීලි වූ පැරිස් සමාජයේ සාමාජික රටවල් පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය වසර 10ක් ගතවන තුරු අයකර ගැනීමෙන් වැළකී සිටිය යුතු බවයි.

ඉන් අනතුරුව ණය ආපසු ගෙවීම සඳහා තවත් වසර 15ක පමණ දීර්ඝ සහන කාලයක් ලබාදිය යුතු බවටද පැරිස් සමාජය යෝජනා කර ඇත.

එම මුළික එකඟතාවට අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා ආරම්භ කර පොදු වැඩසටහනක් සකස්කර ගැනීමට ඉන්දියාව සහ ජපානයද කැමැත්ත පළකර තිබේ. 

එහෙත් ආරම්භයේදී මෙන්ම වර්තමානයේදීද චීනය ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන්ගේ පොදු එකඟතා සම්බන්ධයෙන් පසුවන්නේ නෑසු කන්ව ය.

චීනය මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 07කට වැඩි දැවැන්ත ණය වෙනුවෙන් සහනයක් ලබාදීම මගහැර යන්නට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇති බව පෙනෙන්නට තිබේ.

ඉන් පළමුවැන්න වන්නේ, චීනය විසින් විශාල ලෙස ණය ලබාදී ඇති ලොව තවත් සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක්, ණය උගුල්වල පැටලී ආර්ථික අර්බුදවලට මුහුණදී සිටීමයි(පහසු කොන්දේසි යටතේ, අධික පොලියට විශාල වශයෙන් ණය ලබාදී ලොව රටවල් රැසක් සිය 'ණය උගුලට' හසුකර ඇතැයි බටහිර රටවල් විසින් චීනයට චෝදනා කරන්නේ මෙවැනි පසුබිමකය).

යම්හෙයකින් චීනය විසින් ශ්‍රී ලංකාවේ ණය වෙනුවෙන් අනෙකුත් ණය හිමියන්ට සමානව සහනයක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළහොත්, චීන ණය ලබාගෙන අර්බුදයන්ට මුහුණදී සිටින අනෙකුත් රටවල් තමන්ටද එම සහනය ඉල්ලා සිටීම වැලැක්විය නොහැකිවන අතර, චීනයට අනිවාර්යයෙන් එම ඉල්ලීම් ඉටුකිරීමට සිදුවනු ඇත.

චීනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්ස ගැසූ පළමු හේතුව වන්නේ එයයි.

දෙවැනි හේතුව වන්නේ, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට චීනය එකඟතාව පළකළහොත්, තම ණය හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක පැටලුණු බව වක්‍රාකාරයෙන් පිළිගැනීමට චීනයට සිදුවීමයි.

එවැනි පිළිගැනීමක් යනු, වසර ගණනාවක් තිස්සේ බටහිර ජාතීන් විසින් චීනයට එල්ල කරන 'ණය උගුල්' චෝදනාව පිළිගැනීමකි.

එය චීනයේ අන්තර්ජාතික ප්‍රතිරූපය තවදුරටත් පහතට ඇදදමන්නක් වේ.

ලබන සැප්තැම්බරය වන විට(තවත් මාසයකට පසුව) IMF සිය ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ පළමු සමාලෝචනය සිදුකිරීමට සූදානමින් පසුවේ.

එහිදී තම සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සමබන්ධ පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිය යුතුය. එහෙත් චීනයේ මෙම පස්සගැසීම හේතුවෙන් පසුගිය සතිය වනතුරුම ශ්‍රී ලංකාවට එම ඉලක්කය පිළිබඳව පැහැදිලි අදහසක් පැවතියේ නැත(මේ වනතුරුත් නැත).

මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මාර්තු මාසයේ සිටම චීන සංචාරයක් ඉල්ලා සිටි බව වාර්තා සඳහන් කරයි.

එහෙත් චීනය ජනාධිපතිවරයාට එවැනි සංචාරයක් ලබාදුන්නේ නැත. ශ්‍රී ලංකාවේ අඛණ්ඩ බැගෑපත්වීම් හමුවේ, අවසානයේ පසුගිය ජූනි 24 වැනිදා චීනයට පැමිණෙන ලෙස විදේශ ඇමැති අලි සබ්‍රිට ආරාධනාවක් එවීමට චීනය කටයුතු කළේය. වාර්තා සඳහන් කරන ආකාරයට විදේශ ඇමතිවරයාගේ එම සංචාරයේදීද චීනය සිය ණය සම්බන්ධයෙන් විශේෂ යමක් ප්‍රකාශ කර නැත.

මේ නිසා චීනයේ සිටම, චීනය සුදු හුණු ගාමින්, චීනය වර්ණනා කරමින් කුමන හෝ ආකාරයක කැමැත්තක් ලබාගැනීමට විදේශ ඇමතිවරයා උත්සාහ ගන්නා ආකාරය මේ දිනවල දැකගත හැකිය.

ඊට හොඳම උදාහරණයක් වන්නේ පසුගිය බදාදා පස්වරුවේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවයි.

එහිදී අදහස් දක්වමින් අලි සබ්රි ඇමතිවරයා සඳහන් කරන ලද්දේ චීනයට 'ණය උගුල්' ප්‍රතිපත්තියක් ඇතැයි ඇතැම් රටවල් කරන චෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවයි.

විශේෂයෙන් චීනයේ 'තීරය සහ මාර්ග මුලපිරීම' (BRI) වැඩසටහන විසින් ශ්‍රී ලංකාව “ණය උගුලකට” තල්ලු කර ඇති බවට ප්‍රකාශ කර ඇති සමහර බටහිර මාධ්‍ය වාර්තාවල ප්‍රචාරණය ද විදේශ ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.

පසුගිය වසර කිහිපය තුළ චීනය ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් ආයෝජනය කර ඇති අතර ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වය පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.

එහෙත් මෙම සියලු සුදු හුණු ගෑම් මධ්‍යයේ වුවද චීනය පසුවන්නේ නිහඬවය.

එසේම ශ්‍රී ලංකාව මුහුණදී සිටින මෙම දුෂ්කර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමටද චීනය උත්සුක වෙමින් සිටින බව, චීනයේ මෑත කාලින හැසිරීම නිරීක්ෂණය කරන විට හඳුනාගත හැකිය.

විශේෂයෙන් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති සම්පුර්ණයෙන්ම තමන්ට පවරාදෙන ලෙස චීනය මෙරට රජයට යෝජනා ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ. විශේෂයෙන් රටේ බලශක්ති මර්මස්ථානයක් වන නොරොච්චෝලේ බලාගාරය පවරා ගැනීම සම්බන්ධයෙන්, සිය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවන් අවසන් කිරීමට පෙර එකඟතාවකට පැමිණීමට පෙර චීනය උත්සාහ කරමින් සිටින බව පැවැසේ.

ඊට අමතරව මෙරට ඉන්ධන වෙළඳපොල ආක්‍රමණය කරමින් 'සිනොපෙක්' සමගම හරහා ඉන්ධන අලෙවියේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීමටද චීනය මේ වන විට ගිවිසුම් අත්සන් කර අවසානය.

මේ සියල්ල අවසානයේ පෙනෙන්නට ඇත්තේ IMF ණය වැඩසටහන හමුවේ චීනය ලෙහෙසියෙන් ශ්‍රී ලංකාවට ගොඩඑන්නට ඉඩ තබන්නේ නැති බවය.

ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ ආර්ථික තවදුරටත් සිරකරමින්, උද්ගතවන අසීරුතා මධ්‍යයේ සිය කලාපීය භූ-දේශපාලනික අවශ්‍යතා ශ්‍රී ලංකාව හරහා ඉටුකර ගැනීමට පමණක් චීනය උත්සුක වන බව දැකගත හැකිය