Tuesday, May 21, 2024

General line - 0115112241

රටේ බංකොලොත් බව සැප්තැම්බරයෙන් අවසන් - ජනපති කියයි




සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වැඩසටහනකදීයි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා රජයේ ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන්වල සහාය අපේක්ෂා කරන බවයි.


මේ අතර දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡා දෙකකට එක් වෙමින්. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැකි බවයි.


මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන බැවින් මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට එහිදී සහනයක් හිමිවන බව ජනාධිපතිවරයා පැවසුවා. පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් තුළ පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.


මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළි අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම, රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුන්නා. 


දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමඟ සංවර්ධන ආධාර මෙරටට ලැබීමට නියමිතයි. එමඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාල වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවනවා. ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධය තුළ නව රැකියා අවස්ථාව රැසක් ද බිහිවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුටත් ප්‍රකාශ කළේ.