Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රංශ විරෝධතාකරුවන් නගරාධිපතිවරයෙකුගේ නිවසට ගිනි තබයි




පොලිස් වෙඩි ප්‍රහාරයක් හමුවේ 17 හැවිරිදි තරුණයෙකු මියයාමත් සමග ප්‍රංශය පුරා ක්‍රියාත්මක මහජන විරෝධතා අද 06 වන දිනටත් ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් නගර රැසක ගැටුම් ද පවතින බවයි.
මේ අතර පැරීසියේ ලාහේල්ස් රෝසස් හි නගරාධිපතිවරයාගේ නිවසට ප්‍රහාරක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් වෙත චෝදනා එල්ල වන බවයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ අද අළුයම බවයි පැවසෙන්නේ. පවතින නොසන්සුන්තා හමුවේ තමන් ඊයේ රාත්‍රියේ නගර ශාලාවේ රැඳී සිටි බව නගරාධිපති වින්සන්ට් ජීන්බෲන් පවසනවා. එහිදී අද අළුයම 01.30 ට පමණ විරෝධතාකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් සිය නිවසට කඩා වැදී ඇතැයි ඔහු චෝදනා කළා. එම පිරිස විසින් මෝටර් රථයට ගනි තබා නිවසට ද ගිනි තැබීමට උත්සහ කර ඇති බවයි නගරාධිපතිවරයා චෝදනා කළේ.
එම අවස්ථාවේදී නිවස තුළ සිය බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා සිටි බව ද නගරාධිපතිවරයා පවසනවා. එහිදී දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ ප්‍රහාරකයින්ගෙන් බේරීමට උත්සාහ කිරීමේදී නගරාධිපතිවරයාගේ බිරිඳ  තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දරුවන් ද තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ. අදාළ ප්‍රහාරය සිය පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමට දැරූ උත්සහයක් බවට නගරාධිපතිවරයා චෝදනා කළා.