Monday, May 20, 2024

General line - 0115112241

චීනයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ යයි




පශ්චාත් කොවිඩ් සමයෙන් අනතුරුව චීනයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ රැකියා වියුක්තියෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ චීනයේ තරුණ ප්‍රජාවට බවයි.

නවතම වාර්තා අනුව චීනයේ නාගරික ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 16 ත් 24 ත් අතර පසුවන තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්ති අනුපාතය පසුගිය මාසයේදී සියයට 23යි දශම 1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

උපත් අනුපාතය හා ජනගහනය පහත වැටීම හමුවේ අර්බුදයකට පත්ව සිටින චීනයට තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තිය තවත් ගැටළුවක් බවට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට හේතුව වී ඇත්තේ රැකියා ගැටළු හේතුවෙන් චීනයේ තරුණ තරුණියන් ප්‍රේම  සබඳතා ගොඩනගා ගැනීම සහ විවාහ සම්බන්ධයෙන් ඇති උනන්දුව පහළ යාමයි.

එමෙන්ම චීනයේ තරුණ තරුණියන් තමන්ට සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී නාගරික පරිසරය තුළ දේපළ හා නිවාස පැවතීම සලකා බලන බවයි වාර්තා වන්නේ.

එහෙත් ආර්ථික අර්බුදයට සාපේක්ෂව චීනයේ නාගරික ප්‍රදේශවල නිවාස සහ දේපළ මිල ගණන් ඉහළ ගොස් ඇති බැවින් ඒවා මිලදී ගැනීම ද ගැටළුකාරී තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ.