Tuesday, May 21, 2024

General line - 0115112241

මන්ත්‍රී කැටගොඩගේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ නගර සභා  හා ප්‍රාදේශීය සභා වලට අදාල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව වන ව්‍රායි බල්තසාර් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ නම් කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතට සංශෝධනයක් එක් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

එය ජූලි මස 05 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවද ඇය පෙන්වා දෙනවා.

එම පනත් කෙටුම්පත තුළින් විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවීමට විෂයභාර අමාත්‍යවරයාට බලය පවරා දී ඇති බවත් එසේ ආපසු කැඳවනු ලබන පළාත් පාලන ආයතනවල නිල කාලය නිර්ණය කිරීමේ බලයද විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බවත් පෙත්සම්කාරිය සදහන් කළා.

පළාත් පාලන ආයතන සඳහා වසර හතරකට වරක් මැතිවරණ පැවැත්විය යුතු බවට නීතිය සඳහන් වුවද මේ ආකාරයෙන් එම ආයතනවල නිල කාලය දීර්ඝ කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පැවරීම තුලින් මහජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සම්කාර චෝදනා කර සිටිනවා.

එබැවින් අදාළ පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනටමත් පෙත්සම් ගොනු කර අවසන්.