Monday, May 20, 2024

General line - 0115112241

ඇත්ගොව්වන් නියාමනයට රජයේ අවධානය




අලි ඇතුන් රැක බලා ගන්නා ඇත් ගොව්වන්ද නියාමනයට ලක් කළ යුතු බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ඒ ආශ්‍රිතව සිදු කරන සමීක්ෂණයකින් අනතුරුව අදාළ ආයතන එක් කර ගනිමින් ඇත් ගොව්වන් නියාමනය කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය විදුර වික්‍රමනායක.

 

කෙසේ වෙතත් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඇත්ගොව්වන් නියාමනය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි.

 

ඇත්ගොව්වන් සඳහා බලපත්‍රයක් ලබා දීම, හෙණ්ඩුවේ ප්‍රමාණය සහ භාවිතා කරන පිහියේ දිග සහ පළල ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදි අවධානයට ලක් කර ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළා.


මේවනවිට මෙරට තුළ සිටින හීලෑ අලි ඇතුන්ගේ ප්‍රමාණය 94ක්. ඉන් 60කට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 50ත් 60ත් අතර වයසේ පසුවන සත්ත්වයින් වනවා. එම හීලෑ අලි ඇතුන් 94 දෙනා අලි හාම්පුතුන් 58 දෙනෙකුට අයත් වනවා. 


1946වන විට මෙරට සිටි හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 736ක්. 2002 වසර වන විට හීලෑ අලි ඇතුන් 189 දෙනෙකු මෙරට සිට ඇති අතර 2019 වර්ෂය වන විට එය 116ක් දක්වා අඩු වී තිබෙනවා.

ඒ අනුව හීලෑ අලි ඇතුන්ගේ සංගමය පවසන්නේ කළ යුත්තේ ඇත්ගොව්වන් නියාමනය කිරීම නොව මෙරට හීලෑ අලි ඇතුන්ගේ ප්‍රමාණය ඉහළ නැංවීමට රජය මැදිහත් විය යුතු බවයි.