Friday, May 17, 2024

General line - 0115112241

මහර බන්ධනාගාර රැඳවියන් 05 දෙනෙකු වහළයට නගී




මහර බන්ධනාගාරයේ රැඳවියන් 05 දෙනෙකු එම බන්ධනාගාරයේ වහළය මත නැගී විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අද උදෑසන එලෙස බන්ධනාගාරයේ වහළය මතට නැගී ඇති බවයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ. එලෙස වහළය මතට නැගී විරෝධතාවයේ නිරත වී සිටින රැඳවියන් සියලුම දෙනා මත්ද්‍රව්‍ය චෝදනාවලට අදාළව බන්ධනාගාර ගත කර සිටින පිරිසක්. බන්ධනාගාර නිලධාරීන් විසින් එම රැඳවියන් සන්තකයේ තිබී දුම්කොළ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔවුන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට පමුණුවා චෝදනා විභාග කිරීමෙන් අනතුරුව දඬුවම් පනවා ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළා. ඉන් අනතුරුවයි ඔවුන් මෙලෙස බන්ධනාගාරයේ වහළය මතට නැගී විරෝධතාවක් ආරම්භ කර ඇත්තේ.


මේ අතර, වසංගත රෝගී තත්වයක් හේතුවෙන් වව්නියා බන්ධනාගාරය තුළ පනවා තිබූ සංචරන සීමා ඉවත් කර තිබෙනවා. වව්නියාව රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැදවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැලදීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සදහා ක්ෂණික පූර්වාරක්ෂක පියවරක් ලෙස ජූලි මස 25 වන දින සිට සති දෙකක කාලයක් සඳහා එලෙස සංචරන සීමා පනවා තිබුණා. ඒ අනුව එම සීමා හෙටින් අවසන් අවසන් වීමට නියමිතව තිබෙනවා.