Friday, May 17, 2024

General line - 0115112241

කහවත්තේ පාසැල් සිසුවෙකුට පහර දුන් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට




කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේදී පහර දුන් සිසුන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

11 වසරේ ඉගෙනුම ලබන සිසුන් 13 දෙනෙකු පාසල් කාලය තුළදී 10 වසරේ සිසුන් පිරිසක් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ එක් සිසුවෙක් කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ එම සිසුවා ශල්‍යකර්මයකටද යොමු කිරීමෙන් අනතුරුව මේවනවිට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි  රත්නපුර ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් කළ විමසිමකදී සඳහන් කළේ.

පොලිසිය විසින් රෝහලට ගොස් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව, සිද්ධියට අදාළ එම පාසලේ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සිසුන් දෙදෙනා පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර සිසුන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විද්‍යාලීය විනය කමිටුව කඩිනමින් රැස් වූ බවයි එහි උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

තුවාල ලැබූ සිසුවාට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වැය වන මුදල් පාසැල හරහා ලබා දිීමට අරමුදලක්ද පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

එම සිසුවාගේ පාසැල් අධ්‍යාපනය නිමවන තෙක් අවශ්‍ය සියලු සහය ලබා දීමටද පාසැල් බලධාරීන් තීරණය කර ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. 

සිසුවාට සිදු කළ පහර දීමට සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් කොළඹ, ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් පසුගියදා උද්ඝෝෂණයකද නිරත වුණා.