Friday, May 17, 2024

General line - 0115112241

දුම්රියේ ගමන් ගත විදෙස් කතකගේ ජංගම දුරකථනය පැහැරගත් සැකකරුවන්ට වැඩ වරදී (VIDEO )

රංජිත් රාජපක්ෂ




කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් චීන ජාතික කාන්තාවකගේ ජංගම දුරකථනයක් පැහැර ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලියූ කුයින් නමැති චින ජාතික කාන්තාව සිය සැමියා සහ දියණිය සමඟ ඊයේ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියේ ගමන් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අතරතුර ඇය සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන වීඩියෝ ගත කරමින් ගොස් ඇති අතර නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථානයට ළඟාවන අවස්ථාවේ දුම්රිය මාර්ගය අයිනේ සිටි අයෙකු දිගු පොල්ලකින් එම විදේශිය කාන්තාවගේ ජංගම දුරකථනය රැඳි අතට පහර දී තිබෙනවා.

එම දර්ශනද අදාළ ජංගම දුකථනයේ පටිගත වී තිබුණා. මෙම ප්‍රහාරයෙන් අදාළ කාන්තාවගේ අතට තුවාල සිදු වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු වට්ස්ඇප් ඔස්සේ අදාළ වීඩියෝ දර්ශන නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, ඉඟුරුඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.