Friday, May 17, 2024

General line - 0115112241

වසර 03 කට පසු බන්ධනාගාර රැඳවියන් ගණන 29,000 ඉක්මවයි




වසර තුනකට පසු බන්ධනාගාරගත රැදවියන් ගණන 29,000 ඉක්මවා තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ දිනය වනවිට බන්ධනාගාරවල රඳවා සිටින රැදවියන් ගණන 29,200 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔවුන්ගෙන් 19,000කට අධික රැදවියන් පිරිසක් රක්‍ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

ඉන් දස දහසක් පමණ රදවා සිටින්නේ මත්ද්‍රව්‍ය චෝදනා මතයි.

බන්ධනාගාර ගත සිරකරුවන් ගණනද 10,000 ඉක්ම වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ හේතුවෙන් කොළඹ රිමාන්ඩ්, මැගසින්, මීගමුව, මහර සහ ගාල්ල බන්ධනාගාරවල දැඩි තදබදයක් පවතින බවද වාර්තා වුණා.

පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය සමඟ කඩිනමින් සාකච්ඡා කිරිමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇත්තේ. 

මේ අතර අගුණුකොලපැලැස්ස බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැදවියෙකු සන්තකයේ තිබී දුම්වැටි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඒ, එම බන්ධනාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රෝහලේ සිදුකළ හදිසි පරීක්ෂාවකදීයි.

අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ රෝහලේ වෛද්‍යවරයෙකු විසින් එම දුම්වැටි කිහිපය ගෙනැවිත් ලබාදුන් බවයි.

අදාළ වෛද්‍යවරයා ද එය පිළිගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයෙන් මේවනවිටත් විමර්ශනයක් ක්‍රියාත්මකයි. 

අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ද දැනුවත් කර තිබෙනවා.