Friday, May 17, 2024

General line - 0115112241

කෙහෙළියගේ විශ්වාසභංගයට සජිත් කල් ඉල්ලුව හේතුව




සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා මෙතෙක් දින නියමවී නොමැති බවට වාර්තා වනවා.

ඒ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පාර්ශ්වය උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට පසුබටවීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එහි සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්ව ඇති අතර එහිදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සභානායකවරයා දැනුම්දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට අවස්ථාව ඇති බවත්, ඒ සඳහා අදාළ අමාත්‍යවරයා ද එකඟතාව පළකර ඇති බවයි.

එහෙත් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් හෙට දිනයේ විවාදයට ගැනීමට අවශ්‍ය නොවන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ නම් ලබන සතියේ දිනයක් වුවද ඒ සඳහා ලබාදිය හැකි බව සභානායකවරයා පවසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ එළඹෙන සතියේ ක්‍රිකට් ආයතනයේ ගැටලුව විවාදයට ගැනීමට ඇති බැවින් එය වැදගත් බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කතානායකවරයාද විපක්ෂ නායකවරයා සහ ඔහුගේ නියෝජිතයන් වෙතින් ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් මාසයේ ආරම්භක සතියේ දිනයක් හෝ ලබාදී එම කටයුත්ත අවසන් කිරීමට සහය දෙන ලෙසයි.

මෙම ඉල්ලීමටද විපක්ෂ නායකවරයා ප්‍රමුඛ ඔහුගේ නියෝජිතයන් එකඟතාවක් දක්වා නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.