Friday, May 17, 2024

General line - 0115112241

ඉන්දියානු රුපියල ලංකාවට හදුන්වාදීම ගැන ඇත්ත කතාව




ඉන්දියානු රුපියල මේ වන විට මෙරට භාවිත කළ හැකි (කොන්දේසි සහිතව) මුදල් ඒකකයක් බවට පත්කර අවසන්ය.

කෙසේවෙතත් රටේ සාමාන්‍ය ජනයා අතර තවමත් ඉන්දියානු රුපියල භාවිත කළ හැක්කේ කෙසේද යන්න සහ එම භාවිතය රටට වැදගත් වන්නේ කෙසේද යන්න පිළිබඳව වඩා පුළුල් අවබෝධයක් පවතින බවක් පෙනෙන්නේ නැත.

එමනිසාම ඇතැමුන් සිතන්නේ, දැන් ඉන්දියානු රුපියල් ලබාදී භාණ්ඩ හෝ සේවා ලබාගැනීමේ අවස්ථාව රට තුළ උදාවී ඇති බවයි.

එම අදහසම විකෘති කරමින් දක්වන ඇතැමුන් පවසන්නේ, ඉන්දියානු රුපියල විසින් ශ්‍රී ලංකා රුපියල ආක්‍රමණය කරමින් සිටින බවයි.

මෙම ලිපියේ අරමුණ වන්නේ ඉන්දියානු රුපියල මෙරට භාවිත කළ හැකි සැබෑ අවස්ථාවන් පිළිබඳව යම් පැහැදිලි කිරීමයි. 

ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගත් මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගනු ලැබුවේ 2022 අගෝස්තු මාසයේ දී ය.

එහිදි විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉන්දීය රුපියලට අමතරව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය, පවුම් ස්ටර්ලින්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව විසින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නම් කරන ලද විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ඉන්දීය පාර්ශ්වය එම අනුමැතිය ලබාදී තිබිණි.

එම අනුමැතිය සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති ආකාරයට, දැන් ශ්‍රී ලාංකිකයන්ට ඇමෙරිකානු ඩොලර් 10,000 ක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14ක් පමණ) වටිනා ඉන්දියානු රුපියල්(INR) භෞතික ස්වරූපයෙන් (දෙසැම්බර් මාසයේ විනිමය අනුපාතිකයන්ට අනුව) සිය සන්තකයේ තබාගැනීමේ හැකියාව ද ඇත.

මෙහි ඇති වඩාත්ම විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකිකයන්ට දැන් ඉන්දියානු රුපියල් වෙනත් මුදල් ඒකකයකට පරිවර්තනය කිරීමට හැකිවීමයි.

මෙම පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ බැංකුවක 'වොස්ට්‍රෝ' (INR vostro) නම් ගිණුම් විශේෂයක් විවෘත කිරීම සඳහා ඉන්දියානු බැංකුවක් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.

ඉන්දීය සංචිත බැංකුව විසින් මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබාදී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල් ඉදිරියේදී ඉන්දියාව සමග සිදුකරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු සඳහා එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවය.

"ඉන්දියාවේ අපනයනය කෙරෙහි අවධානය යොමුකරමින්, ගෝලීය වෙළඳාම වර්ධනය, ප්‍රවර්ධනය කිරීම සහ ඉන්දීය රුපියල කෙරෙහි ගෝලීය වෙළඳ ප්‍රජාවේ වැඩිවන උනන්දුව වෙනුවෙන් මෙම යාන්ත්‍රනය සකස් කර තිබේ.

ඇතැම් රටවල් සමඟ වෙළඳාම සඳහා එක්සත් ජනපද ඩොලරය වැනි ගෝලීය මුදල් භාවිත කිරීම වළක්වන නීතිරීති හේතුවෙන් ගැටලු උද්ගතව ඇති අතර, එවැනි ගැටලු වළක්වා ගැනීම සඳහා ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට පහසුකම් සැලසීමට මෙම යාන්ත්‍රණය ඔස්සේ අපේක්ෂා කෙරේ," යයි ඉන්දීය සංචිත බැංකුව පසුගිය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශ කර තිබිණි.

ඉන්දියානු රුපියලට මෙලෙස ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් විසින් ඉන්දියාව සමග එක්ව නිල වශයෙන් ඉන්දියානු රුපියල භාවිත කරමින් මේ වන විටත් ගනුදෙනු ආරම්භ කර තිබේ.

එහි පසුබිම විමසා බලන විට, 2022 දෙසැම්බර් දෙවන සතියේදී ලංකා බැංකුව (BOC) එහි චෙන්නායි ශාඛාව සමග ඉන්දියානු රුපියල ඔස්සේ ගනුදෙනු කළහැකි පළමු වොස්ට්‍රෝ ගිණුම (vostro account) විවෘත කරනු ලැබීය.

ඒ, ඉන්දියානු රාජ්‍ය බැංකුව (State Bank of India/SBI) සමග හවුල්කාරිත්වයක් ඇතිකර ගනිමිනි.

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා විසින් ඉන්දීය රුපියල ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් පිළිගත් විදේශ මුදල් ඒකකයක් නම් කිරීමත් සමග, නොනිල වශයෙන් තවත් දේශීය බැංකු කිහිපයක් ඉන්දීය බැංකු සමග එක්ව මෙම වොස්ට්‍රෝ ගිණුම් හරහා දැනටමත් දෙරට අතර වෙළඳ ගනුදෙනු වෙනුවෙන් සහාය ලබාදෙමින් සිටින බවද ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව රුසියාව, මුරුසිය සහ ශ්‍රී ලංකාව සමග සිය රුපියල භාවිත කරමින් වෙළඳාමට පහසුකම් සලසා ඇති ඉන්දීය රජය, තවත් රටවල් ගණනාවක් සමග එවැනි අවස්ථා ගවේශනය කරන ලෙස වෙළඳ ආයතන සහ බැංකුවලින් ඉල්ලා ඇත.

ඒ අනුව ඉන්දියානු බැංකු දැනටමත් ඉන්දියානු රුපියලේ වෙළඳ විධිවිධානය ක්‍රියාත්මක කරමින් මෙම රටවල් තුනේ බැංකු සමග විශේෂ රුපියල් වොස්ට්‍රෝ ගිණුම් (SRVA) විවෘත කර තිබේ. ඉන්දීය බැංකුද ශ්‍රී ලංකාවේ බැංකු තුනක එවැනි ගිණුම් විවෘත කර ඇත.

මෙම වොස්ට්‍රෝ ගිණුම් හරහා අපනයන, ආනයන සහ ප්‍රේෂණ ඇතුළු සියලුම ජංගම ගිණුම් ගනුදෙනු ශ්‍රී ලාංකික පදිංචිකරුවන් සහ අනේවාසිකයන් අතර සිදු කළ හැකිය.

කෙසේ වෙතත්, මෙම සියලු ගනුදෙනු වලදී අනිවාර්යයෙන් බැංකු මාර්ග පමණක් භාවිත කළයුතු අතර, බලයලත් ක්‍රියාකාරකම් සඳහා පමණක් අවසර ලැබෙන බවත් RBI අනුමැතියෙහි සඳහන් වේ.

මෙලෙස ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකයක් බවට පත්කිරීමත් සමග රටට ලැබෙන වාසි ගණනාවක්ම පවතී. ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන විෂය ප්‍රාමාණිකයකු වන, කොළඹ විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගනුදෙනු වලදී මෙම භාවිතය අතිශය වැදගත් වනු ඇති බවයි. 

"ශ්‍රී ලංකාව දැනට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහත් හයත් අතර වටිනාකමකින් යුතු භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කරනවා.

ශ්‍රී ලංකාවට පවතින ගැටලුව ඩොලර් හිඟයනේ. එතැනදී ඩොලර්වලට විශාල ඉල්ලුමක් ඇති නොවන ආකාරයෙන් මේ වෙළඳාම පවත්වාගෙන යන්න මෙමගින් හැකියාව ලැබෙනවා.

ඉන්දියානු සංචාරකයෝ එනකොට ඉන්දියානු රුපියල් එනවා.

ඉන්දියානු ආයෝජන එනකොට එතනින් ඉන්දියානු රුපියල් එනවා.

ඒ නිසා කෙටිකාලීනව ඩොලරය සම්බන්ධ ගැටළු මගහරවා ගැනීමට මේක හොඳ ක්‍රමයක්.

ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවට වාසි ලබාගැනීමට නම් ආර්ථිකමය වශයෙන් ඉන්දියාවත් සමග සම්බන්ධ විය යුතුයි.

ඒ සඳහා ඉන්දීය රුපියල භාවිතය උදව්වක් වෙනවා කියලයි මගේ හැඟීම.

විශේෂයෙන් අපේ අපනයන වැඩිකරගන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්.

අනෙක් අතට, උදාහරණයක් විදිහට ඉන්දියාවේ වන්දනාවේ යන කෙනකුට ඩොලර් අරගෙන ඉන්දියානු රුපියල් බවට පරිවර්තනය කරගත යුතුයි.

මෙතැනදී කෙලින්ම ඉන්දියානු රුපියල් භාවිත කරන්න පුළුවන්. යුරෝපයේ කරලා තියෙන්නේ එකනේ.

මොන රටකට ගියත් භාවිත වෙන්නේ යුරෝ." යයි මහාචාර්යවරයා පෙන්වාදෙයි. 

මේ ආකාරයෙන් මෙරට භාවිතයට පැමිණ ඇති ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැන් පැහැදිලි අර්ථ දැක්වීමක් සිදුකර තිබේ.

පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව එය මෙසේ පවසා ඇත.  

'නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීමයි.

තව ද, එමගින් ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු වනු ඇති අතර, එය විධිමත් බැංකුකරණ මාධ්‍යය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ද සහාය වනු ඇත.

දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙස ම පවතිනු ඇත......

ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම් සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් (Legal Tender) බවට පත් නොවේ.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කල හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණකි.'