Friday, May 17, 2024

General line - 0115112241

වත්කම් උපයා ගත් හැටි හෙළි කිරීමට අපොහොසත් වූ විමල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

උදය කුමාර




රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ඔක්තෝම්බර් මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

ඒ, එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ගොනු කර තිබෙන මූලික විරෝධතාවලට අදාල වාචික දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඔක්තෝබර් මස 27 වනදා ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශ්වයට නියම කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අත්පත් කර ගත් රුපියල් මිලියන 75 කට අධිකව වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.