Monday, May 20, 2024

General line - 0115112241

එළවළු තොග මිල අඩු වුණත් සිල්ලර මිල අඩු නැත්තේ ඇයි? - මැනින් වෙළඳපොලෙන් ප්‍රතිචාර.




වෙළඳපොලේ එළවළු තොග මිල අඩුවුවද එහි වාසිය පාරිභෝගිකයින්ට හිමි නොවන බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණා. බොහෝ සිල්ලර වෙළඳුන් සිය ලාභය වැඩි කරගැනීමේ අරමුණින් එලෙස අධික මිල ගණන් යටතේ එළවළු අලෙවි කරන බවයි එහිදී අනාවරණ වුණේ. කරවිල තොග කිලෝවක තොග මිල රුපියල් 200 ක් වුවද ඇතැම් එළවළු සිල්ලර වෙළඳසැල්වල කරවිල පසුගිය දිනවල අලෙවිවූයේ  කිලෝවක් රුපියල් 480 ක් වැනි අධික මිලකටයි.

වැටකොළු කිලෝවක තොග මිල රුපියල් 140 කට පැවතියද සිල්ලර වෙළඳපොලේ එහි කිලෝවක් අලෙවි වූ මිල රුපියල් 320 ක්. අනෙකුත් එළවළු වර්ගවල ද සිල්ලර වෙළඳපොලේ පසුගිය දිනවල අලෙවි වී තිබුණේ ඉතා ඉහළ මිල ගණන් යටතේයි.
අතරමැදියන් හරහා සිදුවන වෙළඳාම් හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළ යන බවයි වාර්තා වන්නේ. එහෙත් මැනින් වෙළඳපොල හරහා සිදුකෙරෙන වෙළඳාම්වලදී ගොවියාට සහ පරිභෝගිකයාට අසාධාරණයක් සිදුනොවන බව පෑලියගොඩ මැනින් වෙළඳ පොදු සංගමයේ සභාපති එච්.එම්. උපසේන නෙත් නිවුස් කළ විමසීමකfදී සඳහන් කළා.


කෙසේවෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව පාරිභෝගිකයාට දැරිය හැකි පරිදි අද දින මැනින් වෙළඳපොලේ එළවළු තොග මිල පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුව පවතින තොග මිලට සාපේක්ෂව සිල්ලර වෙළඳපොලේ රුපියල් 30 ත්, 50 ත් අතර වැඩි මිලකින් පමණක් අද දිනයේ එළවළු අලෙවිවිය යුතු බවද ඔහු කියා සිටියා.


එහෙත් එළවළු සිල්ලර මිල පාරිභෝගිකයාට දැරිය යුතු මට්ටමෙන් පැවතිය යුතු බවයි පෑලියගොඩ මැනින් වෙළඳ පොදු සංගමයේ සභාපති එච්.එම්. උපසේන වැඩිදුරටත් සඳහන් කළේ.